(කාංචන කුමාර ආරියදාස)
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර ගණනාවක් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී භාණ්ඩ ද ඕනෑම සංචාරකයෙකුට පරිහරණය කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සීගිරි පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර 25කට පමණ වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය ලෙස සැළකේ.
සීගිරි කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ජී. ප්‍රේම් මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවය. මෙම සෙනරත් පරණවිතාරණ මහතා සිටි නවාතැන්පලේ තිබුණු පැරණි භාණ්ඩ රැසක් මේවනවිට කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ඉතිරිව ඇති මේස පුටු ඇඳන් ආදී භාණ්ඩ සංචාරකයන්ගේ භාවිතය සඳහා යොදාගත හැකි බව ඔහු පැවසීය.
සීගිරිය නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එක් විදේශිකයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අයකෙරේ. සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400ක පමණ ආසන්න මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.







