පරණ පෙම්වතාට පාඩමක් උගන්වන්න ගිය අලුත් පෙම්වතා ඇතුළු පිරිස රිමාන්ඩ්


(ටෝනි කරුණානායක) 

තම ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා පැරණි පෙම්වතා ගෙන්වා ගෙන අලුත් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව පැරණි පෙම්වතාව තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කරන ලද පෙම්වතිය සහ සැකකරුවන් තිදෙනකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා (17) නියම කළේය.

කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ කටුනායක  හිනටියන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනකු සහ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි කටුනායක ඇගලුම් කම්හල් සේවිකාවක් වු සුබෝදා දිල්රුක්ෂි ජයසිංහ නැමැති සැකකාරියව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .

සැකකරුවන් තිදෙනාව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර  ලබන 24 වැනිදාට එම සැකකරුවන් තිදෙනාව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය මගින් නියම කළේය.

කැපුම් තුවාල හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පැමිණිලිකරු දංකොටුව ප්‍රදේශයේ පදිංචි කටුනායක ඇගලුම් කම්හල් සේවකයෙකු බවත් ඔහුගේ සැකකාර පෙම්වතිය ද කටුනායක ඇගලුම් කම්හල් සේවිකාවක් බව පොලිසිය පවසයි.

කැපුම් තුවාල ලැබූ පෙම්වතාට හොරෙන් සැකකාරිය අලුත් පෙම්වතාව සොයා ගෙන ඇති බවත් අලුත් පෙම්වතා සමඟ ඉන්නාවිට පැරණි පෙම්වතා විසින් දුරකථන ඇමතුම් ගන්නා විට කොල්ලෙක් නිතර නිතර කරදර කරන බව සැකකාරිය අලුත් පෙම්වතාට පැවසීමෙන් උරන වී ඇති සැකකාරියගේ පෙම්වතා සැකකාරිය ගේ ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා සැකකාරියගේ පැරණි පෙම්වතාව ගෙන්වාගෙන කටුනායක කෝවින්න ප්‍රදේශයේ දී තියුණු ආයුධ වලින් කපා බරපතළ තුවාල සිදු කර ඇති බව කටුනායක පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් නිතිඥ සමන් කුමාර මහතා පෙනි සිටි අතර සැකකාරිගේ ක්‍රියාකලාපය එම ආරවුලට හේතු වී ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.