පඹුරුගස්වැව විද්‍යාලය යටවීමේ අවදානමක්


අමදෝරු අමරජීව

 

යාංඔය ජලාශ යෝජනා ක්‍රමයේ ඉදිකිරිම් අවසන් කර ඇති අතර ජලයෙන් යටවන ගෝමරන්කඩවල  පඹුරුගස්වැව  විද්‍යාලය තවමත් ඉවත් නොකිරිම හේතුවෙන් හදිසි වර්ෂාවකදී  පාසල යටවීමේ අවදානමක් පවතින බව  එහි විදුහල්පති එස්.පි.ජයතිලක මහතා පැවසිය.

 

යාංඔය ජලාශ යෝජනා ක්‍රමයේ  බැම්මේ ඉදිකිරිම්  මේ වන විට අවසන් කර ඇති අතර ජලාශයේ ජලය පිරවිමට පෙර පාසල ඉවත් කළ යුතුවේ. මේ වනවිට පඹුරුගස්වැව  ගම්මානයේ  ජනතාව ඉවත් කර  වෙනත් ස්ථානයක  පදිංචි කර ඇති අතර විකල්ප පාසලේ ඉදිකිරිම් මන්දගාමී ව සිදුවේ.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු විදුහල්පති  එස්.පි.ජයතිලක මහතා බැම්මේ කටයුතු අවසන් කරලා තියෙන්නේ.ජලය පිරවීම විතරයි කළ යුත්තේ.තවම පාසල  ඉවත් කරලා නැහැ. යාංඔයේ  වතුර පුරවන්න පෙර පාසල ඉවත්කළ යුතුයි. පාසල පවතින වේලාවකදි හදිසියේ වර්ෂාවක් වැස්සොත් ලමයි කොටු වෙනවා. ඉතා අවදානම් මට්ටමකයි තියෙන්නේ. ගුරුවරු 11ක් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්  මෙහි සේවය කරනඅතර ලමයි 57 ක් ඉගෙන ගන්නවා  යැයි පැවසිය.

 

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් යාංඔය ජලාශ යෝජනා ක්‍රමයේ  ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතා බැම්මේ වැඩ අවසන් කළාට වාන අසල කොන්ක්‍රීට්  දොර විවෘත කරලා තියෙන්නේ. පාසල ඉවත් කරනකම්  එකට මොකුත් කරන්නේ නැහැ. මනුෂයකුගේ උස ප්‍රමාණයට  විවරයක් එහි තියනවා.

කොහොම වුණත්  තද වර්ෂාවක් මේ කාලයට ඇද හැලෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි වාන් දොරටු විවෘත කරලා ජලය පිට කරන්න සුදානම් කරනවා. එහෙම නිසා අවදානමක් ඇති වෙන්න කොහෙත්ම බැහැ. කොහොම වුණත් මේ පාසල ලබන සැප්තැම්බර්  වනවිට මල්පොරුවේ විකල්ප ස්ථානයට ගෙනියනවා. එහි ගොඩනැගිලි හැදෙමින් පවතිනවා. මෙහි ගොඩනැගිලි හදන්න ප්‍රමාද වුණේ  අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබීමේ ප්‍රමාදය නිසා යැයි කීය.