පබ්පතාරාම ඉපැරැණි විහාරස්ථාන සංකීර්ණයක්-චෛත්‍ය නටඹුන් නාඋලින් හමුවෙයි


(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස)

වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් නාඋල - බඹරගහවත්තෙන් හමුව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාල නිලධාරින් හා කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම අනාවරණය කළේය.

වසර 200 ක ඉපැරණි ඉතිහාසයක් පවතින  මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බඹරගහවත්ත ඓතිහාසික ග්‍රාමයේ මෙම  පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.‍

2017 වර්ෂයේ දී පුරා විද්‍යා ස්ථානය නිධන් හොරුන්ට නතු වීම හේතුවෙන් පළමුවෙන් ස්ථානය  හදුනාගැනීම සිදුවන්නේ  මහනුවර පුරාවිද්‍යා කාර්යාලයෙනි.

අනතුරුව  කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව හා එක්ව සිදුකල පර්යේෂණ වල දී මෙම ස්ථානයේ අනුරාධපුර යුගයට අයත් ක්‍රි.පු. දෙවන සියවසට අයත් භූමියක් යැයි අනුමාන කළ හැකි බව අනාවරණය කර ගෙන තිබේ.

‘ගඩ‍ොල්  ඒ වගේම භාජනවල කොටස් හා උළු කැබලි හමුවෙලා තියෙනවා. මේ ස්ථානයේ පබ්බත විහාර සංකීර්ණයක් පැවැති බවට අනුමාන කරන්න පුලුවන් අඩි 400-500 ක පමන විශ්කම්බයකින් යුුුතු චෛත්‍යයක නටඹුන් අපිට හමුවුණා‘

කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා එසේ සදහන් කරමින් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ලාංකීය පුරාවිිදාවට එකතු නොවුණ දැනුම් සම්බාරයක් මෙහි ගැබි වී ඇති බවයි.

සිදුකරන ලද මූලික පරික්ෂණ වලදී සුවිශේෂි ස්ථාන පහක් මේ වන විට කැනීම් සදහා නම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.