පන්සල් නැති නගර වලට දහම් පාසල්


එංගලන්තයේශ්‍රී ලාංකික විහාරස්ථාන ස්ථාපිත කර නැති නගරවල පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයින්ගේ දු දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා බ්‍රිස්ටල් බෞද්ධ විහාරස්ථානයේ මුලිකත්වයෙන් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ පසුගිය වසරක කාලය පුරාවටම   බ්‍රිස්ටල් විහාරස්ථානයේදී සහ ග්ලොස්ටර්,ස්වින්ඩන්,සවුත්හැම්ප්ටන් සහ කාර්ඩිෆ් යන නගරවලදී මෙම පන්ති පවත්වනු ලබයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිස්ටල් විහාරාධිපති  පැල්වත්තේ ධම්මානන්ද හිමියන් පැවසුවේ සෑම මාසයකම පළමුවන ඉරිදා (3) කාඩිෆ් නගරයේදීත්,දෙවන ඉරිදා සහ හතරවන සෙනසුරාදා සවුත්හැම්ප්ටන් නගරයේදීත්, පළමුවන සහ තුන් වන සෙනසුරාදා ස්වින්ඩන් නගරයේදීත් තුන්වන ඉරිදා බ්‍රිස්ටල් නගරයේදීත් 4 වන ඉරිදා ග්ලොස්ටර් නගරයේදීත් මෙම පන්ති පැවැත්වෙන බවයි.

දහම්පාසල් සඳහා එම නගරයන්හිපදිංචි ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් ආගම් බේදයකින් තොරව සහභාගී කරවීම සඳහා උනන්දුවක් දක්වන බවද උන්වහන්සේ පැවසුහ.

මෙම පන්තිවලදී සිංහල භාෂාව සහ බුද්ධ ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ලබාදීම සඳහා කටයුතු කරනු ලබයි.

පසුගිය අප්‍රේල් මාසයේදී සවුත්හැම්ප්ටන් දහම් පාසලේ දෙමාපියන් සහ සිසු සිසුවියන් එක්වී සිංහල අවුරුදු උත්සවයක්ද සංවිධානය කරනු ලැබිය.

ලබන වසර වනවිට මෙම හැම දහම් පාසලකින්ම සිංහල අවුරුදු උත්සවය, වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමට සැමරීමේ බලාපොරොත්තුවක් ඇති බවද ධම්මානන්ද හිමියෝ පවසති.

ග්ලොස්ටර් නගරයේ පදිංචි ඉංග්‍රීසි අනෙකුත් ජාතිකයින් සමඟ එකමුතුව පසුගියදා පැවැත්වූ සමඟි උත්සව අවස්ථාවේදී ශ්‍රී ලාංකික අනන්‍ය තාවය පිළිඹිඹු කෙරුණු ප්‍රදර්ශන කුටියක් සංවිධානය කිරීමට දහම් පාසලේ දෙමාපියන් කටයුතු කර ඇත. දවස පුරාවට පැවැත්වුන එම උත්සවයේදී ශ්‍රී ලාංකික ආහාර පාන සැපයීමටත් ශ්‍රී ලංකාව සහ බුද්ධ ධර්මය පිළිබඳ තොරතුරු සැපයිමටත් කටයුතු කරනු ලැබිය.

දහම් පාසල්වලට අමතරව පොහොහ දිනයන්හි දාන,සීල භාවනා ආදී විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකෙරෙයි.

පන්ති සඳහා සහභාගිවන සියලුම දරු දැරියන් ඉතා කෙටි කාලයක් ඇතුලත සිංහල කතාකිරීමේ මෙන්ම කියවීමේ සහ ලිවීමේ හැකියාවද ඉතා උසස් මට්ටමකට ප්‍රවර්ධනය කරගෙන ඉන්නා බවද පැල්වත්තේ ධම්මානන්ද හිමියෝ පැවසුහ.

මෙම පන්ති වලට තම දරුවන් සහභාගී කරවීමට කැමති දෙමාපියන් ඇත්නම් ඒ පිළිබඳ විස්තර බ්‍රිස්ටල් විහාරස්ථානයේ මෙම දුරකථන අංකයන්ගෙන් ලබාගත හැක. 01179772943 හෝ 07429175920 මෙම පන්ති පැවැත්වෙන්නේ කිසිදු අයකිරීමකින් තොරවය.

දහම්පාසල මඟින් සිංහල දෙමාපියන්ගේ දුවා දරුවන් හට ඔවුනගේ සංකෘතිය හා බුද්ධ ධර්මය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන අතර,එහි අතුරු ඵලයක් ලෙස මේ නගරයන්හි පදිංචි සිංහල පවුල් අතර අන්නෝන්‍ය සුහදතාවයක් ගොඩනැංවීමද සිදුවී ඇත. 

මෙම ව්‍යාපෘතිය ආරම්භකර කෙටි කාලයක් ඇතුලත ඊට පෙර සිංහල කතාකිරීමට එතරම් අවකාශයක් හෝ හැකියාවක් නොතිබුන දරු දැරියන් සිංහලකතා බහ කිරීමටත්, සිංහල පොතපත කියවීමටත් උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇති අතර බොහෝදෙනෙකු උදැසන පාසල් යාමට පෙර දෙමාපින්හට වැඳ නමස්කාර කර ඔවුනගේ ආශීර්වාදය ලබාගැනීමටත් සවස පන්සිල්ගැනිමටත් බුද්ධ  පුජාව පැවැත්වීමටත් හුරු පුරුදුවී ඇතිබව දහම්පාසලේ දෙමාපියන් ඉතාමත් කෘතඥතා පුර්වකව පවසති.

බ්‍රිස්ටල් විහාරාධිපති   පැලවත්තේ ධම්මානන්ද හිමියෝ එංගලන්තයට වැඩමකරවීමට පෙර ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි පාසලේ සේවයකළේය.

බ්‍රිස්ටල් විහාරස්ථානයේත් අනෙකුත් නගරවල දහම් පාසල් වලත් වැඩකටයුතු උන්වහන්සේ ඉටුකරන්නේ තනිවමය. මෙයට අමතරව බ්‍රිස්ටල් විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සඳහාද ස්වාච්චාවෙන් සහභාගී වෙති.

බ්‍රිස්ටල් නගරයේ සංවිධානය කෙරෙන අන්තර් ආගමික සුහදතාවය ගොඩනැංවීමේ වැඩ සටහන් සඳහාද උන්වහන්සේ සහභාගී වෙති.

ලන්ඩන් නුවර ඇතුළු එංගලන්තයේ ප්‍රධාන නගර සියල්ලගේම ශ්‍රී ලාංකික විහාරස්ථාන ඇත. මේ හැම විහාරස්ථානයකම බොහෝ කාලයක සිට දහම් පාසල් පවත්වාගෙන යනු ලබන අතර ඒවායේ විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකික දරු දැරියන් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරති. සිංහල භාෂාව ඉගෙන ගනිති.

මෙයට අමතරව නැගෙන හිර ලන්ඩනයේ, හවුන්ස්ලෝ නගරයේ සහ වෙනත් නගර කිහිපයකම ශ්‍රී ලාංකික සංස්කෘතික සංවිධාන මඟින්ද සිංහල පන්ති පවත්වයි.

 ලන්ඩන් නුවර මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින්ද දරු දැරියන් සඳහා විහාරස්ථානයෙන් බාහිර ප්‍රදේශ කිහිපයකම දහම් පාසල් පවත්වනු ලබයි.

1.jpg;;; 2 image-(6).jpg444 image-(8) new1 P1020424 photo-(15) photo-(17)