පදිංචියට අවසර තිබුණත් නැතත් ආපදා වන්දි ගෙවනවා - වාරිමාර්ග ඇමති දුමින්ද


(ජුඩ් සමන්ත)
 
ආපදාවට ලක් වූවන්ට වන්දි ලබාදීමේ දී ඔවුන් පදිංචිව සිටියේ අවසරයක් ඇතිවද, නොමැතිවද යන්න නොසළකා අවශ්‍ය කටයුතු කරන ලෙස සියළුම රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අමාත්‍යවරයා පසුව මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකරිය සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
 
පසුගිය 21 වැනි දා සිට ලබන  3 වැනි දා දක්වා කාලය ආපදාවට පෙර සුදානම කියන වැඩ සටහන සදහා වෙන් කර තිබුණා.නමුත් ඒ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පෙර ආපදාවකට මුහුණ දීමට අපට සිදු වුණා. අපි දැන සිටියා කුමන අවස්ථාවක හෝ ආපදාවක් සිදු වේවි කියා. රජය ඊට සුදානම් වී සිටියේ.පසුගිය කාලයේ ගංවතුරට කොටු වූ ගමකට යන්න දින කීපයක් ගෙවී ගියා.නමුත් මෙවර ගංවතුර ගලන්නත් පෙර නිලධාරීන් ඒ ප්‍රදේශ වලට ගියා.පොලීසිය, නාවුක හමුදාව,යුද හමුදාව,සිවිල් ආරක්ෂක බලකාය තමන්ගේ සම්පූර්ණ සහාය මෙම අවස්ථාවේදී ලබා දුන්නා.අවශ්‍ය නම් සහාය ලබා දීමට ගුවන් හමුදාවත් සුදානමින් සිටියා.එය ඉතාමත්ම විශිෂ්ඨ ක්‍රියාවක්.ඒ නිසා තමයි අපිට හැකියාව ලැබුනේ ලොකු ගංවතුරක් පැමිණියත් සුළු ආපදාවකට මුහුණ දෙන්න.
 
මෙවර ගංවතුර නිසා සිදු වී ඇත්තේ මරණ 21 ක් පමණයි.ඒ අතරින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ නොසැලකිල්ල නිසයි.එසේ නොමැතිව ගංවතුර හේතුවෙන් සිදුවී ඇති මරණ ප්‍රමාණය ඉතාමත්ම අල්පයි.ඒ අතර තමයි මාදම්පේ පොලීසියේ නිලධාරියෙකු ගංවතුරට කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරට හසුවී මිය යන්නේ.අපි ඒ නිලධාරියාගේ පවුලේ අයට රජයක් ලෙස කනගාටුව පල කර සිටිනවා.