පඬු කරඳ ගසේ ඉරණම කැබිනට් මණ්ඩලය අතේ


(විනීතා එම් ගමගේ)
 
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන පෙදෙසේ ගම්පහ දාරළුව ආසන්න පෙදෙසක දී හමුවූ කෲඩියා සිලනිකා
(පඬු කරඳ) ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී තිබුණත් අධිවේගි මාර්ගය ඉදිකිරීමේ දී කළ පරිසර අධ්‍යයනයේ දී මෙම ශාඛය පිළිබඳව අවධානයක් යොමු නොකිරීමෙන් පෙනී යන්නේ එම වාර්තාව නිසිලෙස සිදුකර නොමැතිවීම යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව පරිසරවේදීන් පරිසර විද්‍යාඥයන් හා උද්භිද විද්‍යාඥයන් පිරිසක් සමග පරිසර අමාත්‍යංශයේ අද (11) පැවති හමුවක දීය.
 
මේ ශාඛය සම්බන්ධව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා එම පිරිසගේ අදහස් විමසීම සඳහා මෙම හමුව පැවැත්විණි. පැමිණ සිටි සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අනතුරුව කැබිනට් මණ්ඩලයේ තිරණය අනුව ක්‍රියා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
එබැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දෙන බව කී අමාත්‍යවරයා ඊට වගකිව යුත්තන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද පැවැසීය.
 
කෙසේ වෙතත් දාරළුවේ පිහිටි ශාඛය පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තුරු ඒ සම්බන්ධව  කිසිවක් සිදු නොකරන ලෙස ද අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
 
දැනට නවීන තාක්ෂණය යොදවා මෙම ශාඛ්‍ය ආරක්ෂිතව ගලවා ඊට උචිත පරිසර පද්ධතියක් තුළ රෝපණය කිරීමට හැකියා ඇතත් එම කටයුත්ත සිදුකළ යුත්තේ විශේෂඥ අදහස විමසීමෙන් පසුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.