පකිස්තානයේ ජනරජ දින සැමරීමට ප්‍රධාන ආරාධිත ලෙස ජනපති එක්වෙයි


පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහභාගී විය.

උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිවරයා  පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් එහිදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

පසුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ත්‍රිවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණිමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාළිය සහ විචිත්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්වුහ.

පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සදහා එක්ව සිටියහ.