පක්ෂයට පිටින් ගිය සීතාවක සර්ව ජන මන්ත්‍රි පක්ෂයෙන් දොට්ට


(යොහාන් භාසුර සහ බුද්ධික කුමාරසිරි)

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (18) පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සහාය දුන් සර්වජනබලය පක්‍ෂයේ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

එම ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින්, ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් විසින් සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම පක්‍ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි.

පක්ෂය දැනුම්දී තිබුණු තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බව ද එම පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා අදාළ මන්ත්‍රීවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එහිදී ඡන්ද 23 ක් හිමිකරගනිමින් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී පී.කේ. ප්‍රේමරත්න මහතා පත්විය.

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 6 කට පසුව එම සබාවේ බලය පිහිටුවීම මෙහිදී කැපී පෙනේ.