නෞකාවේ ගින්න ගැන හොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්


(ඩයනා උදයංගනී) 


‘එම්.ටී නිව් ඩයමන්ඞ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා තවත් විදේශ විශේෂඥ කණ්ඩායමක් අද (7) මෙරටට පැමිණි බව නාවික හමුදාව පවසයි.
 

ඒ අනුව මෙම නෞකාවේ ගින්න පිළිබඳ සෙවීම සඳහා මේ වන විට විදේශ විශේෂඥ කණ්ඩායම් දෙකක් පැමිණ සිටිති.

නෞකාව අයත් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ‘නිව් ෂිපින් ලිමිටඞ්’ සමාගම විසින් මෙම විශේෂඥයින් එවා ඇති අතර අද (7) පැමිණි කණ්ඩායමට නෙදර්ලන්ත, බ්‍රිතාන්‍ය සහ බෙල්ජියම රටවල් නියෝජනය කරන විශේෂඥයින් 11 දෙනෙකු  ඇතුළත් බව නාවික හමුදාව සඳහන් කරයි.


ගුවන් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත අද (7) උදෑසන මෙරටට පැමිණි එම කණ්ඩායම ද නාවික හමුදාව මගින් අනතුරට පත් නෞකාව පවතින මුහුදු ප්‍රදේශය වෙත කැඳවාගෙන යාමට කටයුතු යොදා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.


මීට අමතරව ආපදාවට පත් නෞකාව හිමි සමාගම විසින් ඊයේ (6) දිනයේදී මෙරටට එවූ මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් කණ්ඩායමෙන් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මගින් අනතුරට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශය වෙත රැගෙන ගිය බවත්, ඔවුන් එහි තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


මෙම නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙරේදා (6) පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්‍ෂක හමුදාව ඇතුළු කණ්ඩායම් සමත් වුවත් නෞකාවේ අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතු කරගෙන නැවතත් ගින්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින බැවින් නෞකා සහ යාත්‍රා යොදා ගනිමින් එම නෞකාව තවදුරටත් සිසිලනය කරමින් තිබෙන බව ද කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.


ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30ක් (කිලෝමීටර 56ක්) පමණ ගැඹුරු මුහුදේ රඳවා ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.


ශ්‍රී ලංකා හා ඉන්දීය නෞකා 9ක්, ටග් යාත්‍රා 5ක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මේ වන විටත් එම ආපදා කළමනාකරණ මෙහෙයුමේ නිරතව සිටින බව ඔහු සඳහන් කළේය.


නෞකාව නැවත ගිනි ගැනීමට ඇති අවධානම පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශව මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවද නාවික හමුදාව පවසයි.