නොරොච්චෝලේ උද්ඝෝෂණය අවසන්


පත්මා කුමාරි කංකානම්ගේ

 

නොරොච්චෝල පිවිසුම් මාර්ගය අවහිර කරමින් අද (8) පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරතව සිටි 500කට ආසන්න පිරිසක් පස්වරු 12.30 ට පමණ පිවිසුම් මාර්ගය විවෘත කරමින් විසිර ගියහ.

මහ මඟ සිරකරගෙන තිබුණූ නොරොච්චෝල බලාගාරයේ සේවකයන් රැගත් බස්  රථය ද නිදහස් කෙරිණි.

උද්ඝෝෂණයේ නිරතව සිටි ජනතාව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර ඒ.ඒ චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් විදුලිබල මණ්ඩලයේ නියෝජිතයන් අතර  සාකච්ඡාවක් නොරොච්චෝල බලාගාර පරිශ්‍රයේ දී සංවිධානය කර තිබිණි.

එහිදී නොරොච්චෝල උද්ඝෝෂණයේ නිරතව සිටි ජනතාව අතරින් තෝරා ගත් නියෝජිතයන් 15 දෙනෙකු විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ සිටි පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු ඉර්ෂාඩ් මහතා හා සෘජු සාකච්ඡාවක් පැවැත්වුහ.

එහිදී ජනතාව පවසා සිටියේ  ඉතා හදිසි බිඳ වැටීම් හැර අනෙකුත් නඩත්තු කටයුතු සඳහා විදුලිය බිඳ වැටීම් වන විට කල්තියා දැනුවත් කරන බවයි.

එසේ මෑත දී ඇති වු විදුලි බල මණ්ඩලයේ සේවකයන් හා හරබ ප්‍රදේශයේ සුළු ජනකොටසක් අතර ඇති වු ආරවුල නිමා කර ගනිමින් තමන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේය.

නොරොච්චෝල අවට සහ කල්පිටි අර්ධද්වීපයේ සියලුම ගොවින්ට හා ධීවරයන්ට විදුලිය විසන්ධි වීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් කෝටියකට ආසන්න බවද ඔවුහු පැවසුහ.