නොරොච්චෝල විදුලි බලාගාරයට යන එන මං අහුරති


(කල්පිටිය පද්මා කුමාරි)

සමස්ත කල්පිටිය අර්ධද්වීපයේම බ්‍රහස්පතින්දා රාත්‍රියේදී  සිට විදුලිය  බිඳ වැටීම සහ කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව විදුලිබල මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට විරෝධය පාමින් 500 කට අධික ජනතාවක් නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද (8 වැනිදා) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති.

නොරොච්චෝල විදුලිබලාගාරයේ සේවක පිරිසක් රැගත් බස් රථයකට බලාගාරයට ඇතුල් වීමට ඉඩ නොදී මාර්ගය අවහිර කරමින් ඔවුහු  මෙසේ විරෝධය ප්‍රකාශ කරති.

මේ නිසා බලාගාරයේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර මෙම නිලධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත්  මේ නිසා ඇති වන ප්‍රමාදය  ජාතික වශයෙන් නොරොච්චෝල විදුලි නිෂ්පාදනයට බලපාන බව බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියේය.

නොසන්සුන්කාරී ස්ථානයට කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි අතර උද්ඝෝෂණකයන්  දහ දෙනෙකු හා විදුලිබල මණ්ඩල සේවකයන් අතර සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

නමුත් උද්ඝෝෂකයන් පවසා සිටියේ විදුලි බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය කප්පාදු කරමින් කල්පිටියේ ධීවර සහ ගොවි ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින් කරන ලද ද්වේශ සහගත ක්‍රියාව නවත්වන බවට වගකිව යුතු නිලධාරිනේගෙන් පොරොන්දුවක් ලබා දෙන තුරු උද්ඝෝෂණයේ නිරත වන බවයි.