නොකළ වරදකට රිමාන්ඩ් කළැයි ව්‍යාපාරිකයාගෙන් මහාධිකරණයට පෙත්සමක්


(මනෝප්‍රිය ගුණසේකර)

 
දුම්කොළ පනත යටතේ  වරඳක් කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන මාස 03 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් රේගු නිලධාරී තමාගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බව පවසමින් දුම්කොළ ව්‍යාපාරිකයකු විසින්  පවරන ලද නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය තීරණය කළාය.

 එස් . ජුනයිඩීන්  නමැති දුම්කොළ ව්‍යාපාරිකයා විසින් පවරන ලද  මෙම නඩුව පවත්වාගෙන යාම සඳහා බැලූ බැල්මටම කරුණු ඇති බව තීරණය කරමින් එලෙස නියම කළ විනිසුරුවරිය මෙම නඩුවේ  වග උත්තරකරු ලෙස නම් කර ඇති රේගු අධිකාරී වී.ඩබ්ලිව් නානයක්කාර මහතාට ලබන 19 වැනිදාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළාය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ මෙම නඩුව පවරා ඇති අතර එම පනත යටතේ මහාධිකරණයක් හමුවේ පවරන ලද මුල්ම නඩුව මෙය බව වාර්තාවේ.