නෙළුව - ලංකාගම - පිටදෙණිය මාර්ගය ඉදිකිරීමට ජනපති අනුමැතිය




(විනීතා එම් ගමගේ)

නෙළුව සිට ලංකාගම ඔස්සේ පිටදෙණිය දක්වා මාර්ගය ඉදිරි මාස 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

ලංකාගම වැල් පාලම වෙනුවට අඩි 120 කින් යුත් පාලමක් ගිංගඟ හරහා ඉදිකිරීමට ද එහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියාය දක්වා දිනපතා බස් රථයක් ධාවනය කරන ලෙසද උපදෙස් දුන්නේය.

නෙළුව සිට ලංකාගම හරහා පිටදෙණිය තෙක් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ මත පළවෙමින් තිබියදී අද ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ගුවනින් එම ස්ථානයට ගියේය.

ඒ වනවිට ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික දැනුමැති විද්වතුන්ගේ වාර්තාවක් ද ජනාධිපතිවරයා ලබාගෙන තිබූ අතර එහි ගොස් ප්‍රදේශවාසීන්ද සමග කතා බහ කිරීමෙන් පසු රාජපක්ෂ මහතා අවශ්‍ය කරුණු දැක්වීය.

ලංකාගම, වතුගල, නිල්වැල්ල, කොලොන්තොටුව හා පිටදෙනිය ගම්මානවල ජීවත්වන 700 ක⁣ට ආසන්න පවුල් සඳහා පැළ තුන බැගින් ලබාදෙන ලෙස නියෝග කළ ජනාධිපතිවරයා ඒවා සිටුවා රැකබලාගෙන වනාන්තරයට දායාද කරන්නැයි ජනතාවගෙන්ද ඉල්ලා සිටි⁣යේය.

නව මාර්ගය හේතුවෙන් ලංකාගම වැසියන්ට මෙතෙක් දෙනියායට යාමට ගත වූ පැය 4ක කාලය විනාඩි 45ක් දක්වා අඩුවෙන බවද එහිදී හෙලිවිය.