නෙළුම් කුලුනේ වැඩ ඉබි ගමනේ : රජයට මිලියන 5,475 ක ආදායමක් නැති වෙලා


(තරිඳු ජයවර්ධන)
 
නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට  රුපියල් මිලියන  5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන පරීක්ෂණයකින් පසු නිගමනය කර තිබේ.
 

 නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ වීම සහ ණය මුදල සීමා වීම මත ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට  ගෙවනු ලැබ තිබූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 141, 487, 103 ක පමණ මුදල නිෂ්ඵල (අනාර්ථික) ගනුදෙනුවක් වී ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
 කොළඹ නෙළුම් කුලුන ඉදි කිරීම පිළිබඳ කළ විගණනයකින් පසු විශේෂ විගණන වාර්තාව නිකුත් කරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

2012 නොවැම්බර් 12 දින ආරම්භ කරන ලද නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතිය දින 912කින් අවසන් වීමට නියමිතව තිබුණ ද 2018 දෙසැම්බර් 31 වන විටත් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් තිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.  මෙම ව්‍යාපෘතියට අදාලව විධිමත් ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කර නොතිබුණු බව විගණකාධිපති දෙපාර්තමේනව්තුව නිරීක්ෂණය  කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සහ අවබෝධතා ගිවිසුම අනුව අදාළ ඉඩම පැවරීමක් කර නොතිබූ බව නිරීක්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතියේ මෙහි උපදේශන ගාස්තු ලෙස මොරටු විශ්ව විද්‍යාලයට ගෙවීමට එකඟ වී තිබූ රුපියල් 198,691,500න් රුපියල් 150,000,000 ගෙවා තිබුණ ද ඊට කැබිනට් අනුමැතිය ලබා ගෙන නොමැති බව ද සඳහන් කරයි.
 
ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වාරික 12ක් ගෙවීමෙන් පසු එම ගෙවීම් අත්හිටුවා ගිවිසුම් කොන්දේසිවලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් 2015 නොවැම්බර් මස සිට මසකට රුපියල් 3,000,000 බැගින් ගෙවමින් පවතින බවත්,  එසේ ගෙවීමට හේතුව මනා අධීක්ෂණයකින් තොරව ඉදි කිරීම් සිදු කිරීමට ඉඩ හැරීමෙන් සිදුවිය හැකි හානි වලක්වා ගැනීම බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දුන් බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
 
නෙළුම් කුලුන ඉදි කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම  සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණයන් අනුව එම ගිවිසුම සංශෝධනය කර නොතිබුණු බව ද විගණන වාර්තාවේ දක්වා ඇත.
 
කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු 2015 අගෝස්තු 28 දිනැති විදුලි සංදේශ කොමිෂන් සභා තීරණයක් අනුව කොන්ත්‍රාත් කාලය 2017 අගෝස්තු දක්වා දීර්ඝ කිර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්,    2018 ජුනි 30 වන විටත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් අවසන්වී නොතිබුණ ද කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර නොතිබුණු බවත්, ඒ සම්බන්ධ නිර්දේශයක් ව්‍යාපෘති උපදේශන ඒකකයෙන් ඉදිරිපත් කර නැති බව  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
නෙළුම් කුලුනේ සියලුම විදුලි සෝපාන සහ තරප්පු  සවිකිරීම 2017 සැප්තැම්බර් 30 වන විට අවසන් කළ යුතු වුවත් 2018 මැයි 11 වන විටත් එය අවසන් කර නොතිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.
 
 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරියකු පිළිවෙළින් රුපියල් 3,320,000ක සහ රුපියල් 2,185,000ක මුදල් මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන ඒකකයෙන් ලබාගෙන ඇති බව නිරීක්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව එය ආචාරධර්මානුකූල නොවන බව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
 
නෙළුම් කුලුන ව්‍යාපෘතිය සිදු කරන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පස් දෙනකු සඳහා 2013 ජනවාරි පළමු වැනි දා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලයේ කමිටු දීමනා ලෙස චක්‍රලේඛ විධිවිධානවලට පිටින් රුපියල් 10,920,000ක් ගෙවා ඇතැයි නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා චක්‍රලේඛවලට අනුගත නොවී  කළ එම ගෙවීම් යළි එම නිලධාරීන්ගෙන් අය කර ගන්නා ලෙස ද   නිර්දේශ කර ඇත.
 
විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමක් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවව ද සමාගමක් ස්ථානපය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  කොළඹ නෙළුම් කුලුන දේපොළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව     තම නිර්දේශ ඉදිරිපත් කරමින්   සඳහන් කරන්නේ නෙළුම් කුලුන වාණිජකරණය කිරීමට ප්‍රථම ණය වාරික සහ ණය ගැනුම් පිරිවැය ඇතුළත් වන පරිදි නිවැරදි ආදායම් පුරෝකථනයක් සිදු කළ යුතු බවයි.