නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු


 ඩයනා උදයංගනී 

නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මූලස්ථානයේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (19) පැවති මාධ්ය හමුවක් අමතමිනි.

නෙවිල් ප්‍රනාන්දු රජයට පවරාගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තම සංගමය තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු නොමැති බව අමාත්යාංශ දෙක විසින්ම දන්වා එවා ඇතැයි ද හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.