දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා (95) ජොහැන්ස්බර්ග් නුවරදී අභාවප්‍රාප්ත විය.
දකුණු අප්‍රිකාවේ ‘ජාතියේ පියා‘ සහ ‘අහිංසාවාදයේ පියා‘ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, මිය යන විට 95 වැනි වියෙහි පසු විය.
නෙල්සන් මැන්ඩෙලා හය වැනි දා අලුයම අභාවප්‍රාප්ත වූ බව දැනුම් දෙනු ලැබුවේ දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා විසිනි.
එය නිවේදනය කීරිමත් සමඟ දකුණු අප්‍රිකානුවන් පමණක් නොව මුළු ලොවම කම්පනයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු අප්‍රිකා ජනපතිවරයා එරට ජාතික රූපවාහිනියේ පෙනි සිටිමින් මැන්ඩෙලාගේ මරණය දැනුම් දෙමින් පැවසුවේ දකුණු අප්‍රිකා ධජය අඩකුඹු කරන ලෙසයි. ජනපතිවරයා මැන්ඩෙලාගේ මරණය ප්‍රකාශ කිරීමත් සමඟ දහස් ගණනින් ජනයා මැන්ඩෙලාගේ නිවස ඉදිරිපිටට රැස් වී දකුණු අප්‍රිකා ධජය හා වරක් මැන්ඩෙලා නායකත්වය දැරූ අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ධජ ලෙළවන්නට වූහ.
දකුණු අප්‍රිකාවේ සමාජ ශාලා, ආපන ශාලා, බීම හල් ඇතුළු සියලූ විනෝදාත්මක කටයුතු නවතා දමා ඇත.
පෙනහලූ ආසාදනයකින් අවුරුද්දකට ආසන්න කාලයක් පීඩා විඳිමින් සිටි මැන්ඩෙලා පසුගිය ජූනි 08 වැනි දා රෝහල් කැරුණු අතර ඉන් මාස තුනකට පසුව පසුගිය සැප්තැම්බර් 01 වැනිදා රෝහලෙන් පිටව ගියද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවූ නිසා නිවසේදී ද ඔහුට දැඩි සත්කාර ඒකකයක මෙන් ප්‍රතිකාර කරන ලදි.
අභාවප්‍රාප්ත මැන්ඩෙලාගේ මෘත දේහය ප්‍රිටෝරියාහි හමුදා රෝහලකට යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප්‍රිකාව පාලනය කරන ලද සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ මැන්ඩෙලා නිහඩ එහෙත් එඩිතර දේශපාලන ක්‍රියාකාරියෙක් විය.
කළු ජාතිකයන්ගේ අයතිවාසිකම් වෙනුවෙන් හඩ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අප්‍රිකාවේ රොබන් දූපතේ සිරගත කැරිණි. මැන්ඩෙලා පෙනහලූ ආශ්‍රිත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වළක සේවයට යෙදවීම නිසාය.
හිරෙන් නිදහස් වීමෙන් පසු, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ 1994 වසරේදීය.
1999 වසර තෙක් දකුණු අප්‍රිකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.
ජනපති ධුරයට පත් වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි ගැනීමට කටයුතු නොකළේය.
ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලාන තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණ භේද වාදය පිටු දැකීමේ අරමුණෙන්ය.
මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය.
මැන්ඩෙලාගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද සිය කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ මැන්ඩෙලා ජනහිත හඳුනන අසහාය ලෝක නායකයකු බවය.
1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත.
මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන ජූලි 18 වැනිදා ‘මැන්ඩෙලා දිනය‘ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර එදින දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රජා සත්කාර සේවා සිදු කෙරේ.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය. මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර ඇතැයි එරට ජනපති ජාකෝබ් සූමා කියයි. බොහෝ රටවල්ද ශෝක දින නම් කැර ඇත. ලබන අඟහරුවාදා (10) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වෙන බව ද ජනපති සූමා පවසයි. බදාදා (11) සිට සිකුරාදා (13) වැනි දා දක්වා මැන්ඩෙලාගේ දේහය එරට ජනපති මැදුරේ තැම්පත් කර තැබීමට නියමිතය. ඇමෙරිකා ජනපති බරක් ඔබාමා සහ බිරිය මිචෙල් ලබන අඟහරුවාදා ජොහැන්ස්බර්ග් බලා පිටව යන බව ධවල මන්දිර ආරංචි කියයි. ඇමෙරිකාවේ හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අවමඟුලට සහභාගී වීමට නියමිතය. |
-
මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට
-
ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි
-
නෙල්සන් මැන්ඩෙලා හැඳින්වූ නම්

.gif)
