නෙදියවන් ලංකාවට ඉල්ලයි


කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු හැටියට සැළකෙන පෙරියබනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් ශ්‍රි ලංකාවට භාර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය  වෙත ලිපියක් යැවීමට ජාතික හෙළ උරුමය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති ත්‍රස්ත කටයුතු වලට නෙදියවන් සහය දක්වා ඇතැයි ලිපියේ දැක්වෙන අතර ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව කර ඇති අපරාධ සම්බන්ධයෙන් ඔහුට නැගී ඇති චෝදනා විභාග කිරීමට නෙදියවන් ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ලිපියේ සදහන් වේ.

ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියන ආකාරයට නෙදිවන් නෝර්වෙහි ඔස්ලෝ නුවර නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වෙයි. ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කර තිබියදී පවා ඔහු  ශ්‍රී ලංකාවේ  ත්‍රස්ත කටයුතු සිදුකිරීම සදහා සහය දක්වමින් සිටින්නේදැයි පසුගිය මාසයේ එල්.ටී.ටී.යේ නැවත නැගිටීමක් සම්බන්ධයෙන් වුණු සිදුවීම් දාමය පසුපස සිටින්නේත් නෙදියවන් යැයි පරික්ෂණ වලින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා රජය පසුගිය මාසයේදී විවිධ සංවිධාන 16 පුද්ගලයින් 422 දෙනෙක් අසාදු ලේඛන ගතකිරීමට කටයුතු කළ අතර මෙම සංවිධාන හා කිහිප දෙනෙක් නෝර්වේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙයි.

තහනම් කරනු ලැබූ සංවිධාන හා පුද්ගලයින්ගේ තොරතුරු විදෙස් රටවලට ලබා දීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කියයි.