නුවරඑළියේ විදුහල්පතිවරු 5 ක් ගැන විමර්ශනයක්


(සිරාජ් හසීම්) 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නිලඇදුම් වව්චර් බෙදාදීම වෙළදාමක් කිරීම ඇතුළු වංචාවන් සිදුකළැයි කියන විදුහල්පතිවරු පස්දෙනෙක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ යටතේ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිරිනමන පාසල් නිල ඇදුම් වව්චර්  විදුහල්පතිවරුන්ට සමීප වෙළඳ ව්‍යාපාරිකයින්ගෙන් අලෙවි කරවා ලාභ උපයාගැනීම සහ පුස්තකාලවලට ග්‍රන්ථ මිලදී ගැනීම සඳහා ලබාදුන් ප්‍රතිපාදන වංචා කිරිමට උත්සහා කිරීම යන පැමිණිලි සම්බන්ධයෙන් මෙම පරික්ෂණය  සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත නියෝග කර තිබුණු අතර මෙම පාසල් මධ්‍යම පළාත් සභාවට අයත් පාසල් වීම හේතුවෙන් ලේකම්වරයා මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායන මහතා නියෝග කර තිබේ.

පාසල් සිසුන්ගේ කියවීම වර්ධනය කිරීමේ අරමුණින් පාසල්වල  පුස්තකාල වලට ග්‍රන්ථ මිලදී ගැනිම සදහා රජය ප්‍රතිපාදන වෙන්කිරීමේදී මෙම පාසල්වල විදුහල්පතිවරුන් එම පාසල්වල පුස්තකාලය බාර ආචාර්යවරුන්  ඉවත් කර පුස්තකාලවල භාරකාරීත්වය තමන් වෙතම  පවරාගෙන ප්‍රතිපාදන වංචාකර ඇති බවටද තොරතුරු ලැබි ඇත.