නුවරඑළිය බැඞ්මින්ටන් තරගාවලියේදී අමිල යටපාන අවසන් පුර්ව වටයට


නුවරඑළියේදී දැන් පැවැත්වෙන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (2 වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී හර්ෂ පෙරේරා පරාජය කිරීමට අමිල යටපාන අද (27) සමත්විය. තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී හර්ෂ දෙවැනි ස්ථානයේ සිටින අතර අමිල ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නැත. තරගයේ පළමු වටය 21/18 ක් ලෙස හර්ෂ ජයගත් නමුත් දෙවැනි හා තෙවැනි වට 21/12, 21/19 ක් ලෙස අමිල ජය ලැබීය. ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ලක්‍ෂිත මාධුවගේ අර්ධ අවසන් පුර්ව වටයේදී ළහිරු මධුෂංක හමුවේ පරාජය විය. තරගාවලියට සහභාගිවීමට සිටි ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහ අවසන් මොහොතේ ඉන් ඉවත්වීමට තීරණය කර තිබේ. ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා පෞද්ගලික හේතුවක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇතැයි වාර්තාවේ.  යොවුන් ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා, ලේඛා ෂෙහානි සහ කවිඳි ඉෂාදිකා කාන්තා කේවළ ඉසව්වෙන් ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය මෙහෙයවීමෙන් නුවරඑළිය සිනෙස්ටා ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ අනිද්දා (29) අවසන් දිනයයි.