නුවර පාරේ වේවැලෙන් කඳුළු පිටවෙයි


මහනුවර පාර අද්දර වේවැල් කර්මාන්තයේ යෙදෙන එම ගම්මානයේ පිරිස් වේවැල් කර්මාන්තයට කණකොකා හඩලන බව කියති. දේශපාලන  බලපුළුවන්කාරයින්ගේ බලය නිසා දශක ගණනාවක් පැරණි වේවැල් කර්මාන්තය අතහැර බොහෝ පිරිස් මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අත් උදව් කරුවන් සේ රැකියා කරන බව වසර තිස් පහක් පුරාවට වේවැල් කර්මාන්තයේ යෙදෙන සෝමපාල කරුණානායක මහතා පවසයි. වේවැල් කර්මාන්ත සමිතියේ හිටපු සභාපතිවරයෙක් වූ සෝමපාල මහතා එසැණ සමග මෙසේ පැවසිය.

අපිට රජයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඉස්සරනම් ජාතික ශිල්ප සභාවෙන් සුළුවෙන් හෝ උදව් කළා. මෙයට පෙර මෙම ග්‍රාමයේ වේවැල් නිපැයුම් කඩ 100ක් විතර තිබුණා. අද වෙනකොට තියෙන්නේ කඩ 50ක් විතරයි. මේ කර්මාන්තයේ දහසකට වැඩි පිරිසක් සේවය කළා. ගොඩක් අය දැන් මේ කර්මාන්තය අතහැරලා පාරේ වැඩට යනවා. මේ වේවැල් භාණ්ඩ වල මිල වැඩියි කියලා බොහෝ අය කියනවා. අසරණ අපි මොකද කරන්නේ? වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් ඉල්ලුවාම රජයෙන් අපිට ඒක දෙන්නේ නැහැ. ඒවා දෙන්නේ දේශපාලන හෙන්චයියන්ට. මනම්පිටියෙන් ගේන අඩි හයක හින් වේවැලක් අපි ගන්නේ රුපියල් හයට. මොනරාගල බිබිල මාතර දෙනියාය වැනි නගරවලින් ගෙනෙන අඩි 15ක ලොකු වේවැලක් අපිට දෙන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකට. දේශපාලන හෙන්චයියන් රුපියලකට එකයි පනහකට ගන්න වේවැලක් වෙළෙන්ඳන්ට දෙන්නේ රුපියල් හතරකට. වෙළෙන්ඳා අපිට දෙන්නේ රුපියල් හයකට. අපිට වේවැල් ප්‍රවාහනයට බලපත්‍ර දෙනවා නම් මේ භාණ්ඩවල මිල ගොඩක් අඩුවෙයි. අපි රජයෙන් කරුණු තුනක් ඉල්ලනවා හොඳ වෙළදපොලක් හදලා දෙන්න, වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් දෙන්න, වේවැල් පැල නොමිලේ ලබා දීලා  ඒවා වගා කරන්න ඉඩ පහසුකම් සලසලා දෙන්න කියන ඉල්ලීම් තුන තමයි අපි ඉල්ලන්නේ.  පැවති හැම රජයකටම අපි අපේ දුක කිව්වා. හැබැයි යහපාලන රජයට කියන්න හැදුවා විතරයි ආණ්ඩුව විසිරෙව්වා. ඉදිරියේදී පත්වෙන නව රජය හෝ අපේ දුක අහයි කියලා අපි හිතනවා. මම කියන්නේ දශක ගණනාවක් පැරණි මේ වේවැල් කර්මාන්තය වැළලිලා යන්න ඉඩ දෙන්න එපා. ඒක ජාතික අපරාධයක්.

IMG_8264 IMG_8265 IMG_8267