(විනීතා එම් ගමගේ)
රැකියා සදහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගනිමින් ඇතැයි විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
රටේ ප්‍රතිරූපයට හානි වන හා විදේශ රැකියා වෙළෙදපොලට හානි කෙරෙන කිසිවක් නොකරන්නට විදේශගත ශ්‍රී ලාංකිකයන් වගබලා ගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊශ්‍රාලයේ සහ ජපානයේ රැකියා ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රජයේ එකම විදේශ රැකියා නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් පමණකැයි ද නානායක්කාර මහතා කීය.
ඊශ්‍රාලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා හිමිවූ තරුණයින් සදහා ගුවන් ටිකට්පත් බෙදාදීම සදහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
‘‘ඊශ්‍රාලයේ රැකියා සදහා පිටත්ව යන අය රැකියා කාල සීමාව අවසන්වූ වහාම ලංකාවට එන්න ඕන. වලංගු රැකියා කාල සීමාව අවසන්වූ පසුව නීති විරෝධිව එරට රැදී සිටීම මගින් තවත් ලාංකිකයෙකුගේ රැකියා අවස්ථාවන් අහිමි වෙනවා. නියමිත පරිදි රැකියාව කර නැවත ලංකාවට ආවොත් ඔහුට නැවතත් එම රටට ගොස් රැකියාවක යෙදීමේ අවස්ථාව හිමිවෙනවා.
ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සදහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ. දැනට නීති විරෝධී ආකරයට ඊශ්‍රාලයේ රැදී සිටින අය සදහා නීතිමය පියවර ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නීති විරෝධි ආකාරයට ඊශ්‍රාලයේ රැදී සිටීම නිසා අපේ රටට ලැබෙන රැකියා ඇණවුම් අහිමි වී යාම නිසා රටට විදේශ විනිමය නොලැබී යන තත්වයක් ඇතිවිය හැකියි. මේ නිසා අපි මේ සම්බන්ධයෙන් තදින් සිටිමින් කටයුතු කරනවා.’’ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර මහතාද සහභාගී විය.