තමන්ට කිසිදු බාධාවකින් තොරව සිය තනතුරු වල කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් වන දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරුන් එම පක්ෂ දෙකෙහි හිටපු මහ ලේකම්වරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිලි දෙක අද (28) අධිකරණයේදී ඉල්ලා අස්කර ගත්හ.
අදාළ පැමිණිලි දෙක කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා හමුවේ අද (28) කැඳවු අතර එහිදී පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතා සහ විශ්වා වර්ණපාල මහත්වරුන් සිය නීතීඥවරුන් මාර්ගයෙන් දිසා විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ තම ධූරයන්හි කටයුතු කිරීමේදී වගඋත්තරකාර හිටපු ලේකම්වරුන්ගෙන් කිසිදු බාධාවක් ඇති නොවීම හේතුවෙන් මෙම පැමිණිලි දෙක ඉල්ලා අස්කර ගන්නා බවය.
එසේම සිය තනතුරු වල කටයුතු වලට කිසිම අවහිරයක්ද එල්ල නොවු හෙයින් නැවත නඩු පැවරීමේ අයිති තබා ගෙන පැමිණිලි ඉල්ලා අස් කර ගැනීමට පැමිණිලිකරුවන් කැමති බවද එම නීතීඥවරු දන්වා අධිකරණයට දැන්වුහ.
අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන මහලේකම් ධූර වලින් නිල ලෙස පසුගියදා ඉල්ලා අස්වී ඇති බවද පැමිණිල්ලේ නීතීඥවරු එහිදී කරුණු දැක්වීය.
පැමිණිලිකාර පාර්ශවයේ එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා එම පැමිණිලි දෙක නිෂ්ප්‍රභා කළේය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා සමඟ චන්දක ජයසුන්දර , චාරක ජයරත්න ,පුලස්ති රූපසිංහ යන නීතිඥවරුන් පෙනී සිටියහ. වගඋත්තරකාර හිටපු මහ ලේකම්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද පෙනී සිටියහ.

