( තිළිණි ද සිල්වා )
මෙරට සිට ඉන්දියාවට නීතිවිරෝධී ලෙස රත්‍රන් කිලෝ තුනක් රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු බැංගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී එරට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
එම පිරිසට කාන්තාවන් අට දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම පිරිස කාලයක සිට රත්තරන් ජාවාරම් වල නිරත වූවන් බව ඉන්දීය රේගු නිලධාරීන් සැක පල කරන බවද එම ආරංචි මාර්ග කියා සිටී.
සැකකරුවන්ගේ සිරුරුවල රහස් ප්‍රදේශවල සඟවා තිබී රත්‍රන් කිලෝ තුනක් පමණ සොයාගෙන ඇති අතර එලෙස රැගෙන ආ නීතිවිරෝධී රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් බව පැවසේ.
එම පිරිස සෙනසුරාදා රාත්‍රියේ කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවට ගොස් තිබුණි.

