නීතිපතිට සහ හිටපු නාවික හමුදාපතිට නොතිසි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නාවික හමුදා භට පිරිසක් විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදන්වූ එම ළමුන්ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.

එසේම එදිනට වගඋත්තරකාර නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කෙරිණි.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර එහිදී මෙම නියෝග කරන ලදී.