නීතිපති උපදෙස් එනතුරු පේදුරුතුඩුව මහේස්ත්‍රාත් බලාසිටී


(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරු නැගෙනිහිර පළාත්වල සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට සහභාගී වූ පුද්ගලයන් නිරෝධායන නීති කඩ කළ බව පවසමින්, යාපනයේ පොලිස් ස්ථාන තුනක් විසින් නැවත ගොනුකළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් මත පියවර ගන්නා බව පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ගයත්‍රී සයිලනී මහත්මිය පැවසුවාය.

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් ඉකුත් 03වැනි දින උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා එම පාගමන ආරම්භ කෙරුණි.

එම පාගමනට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි, කයිට්ස්, යාපනය, කෝපායි, නෙල්ලියඩි, වැල්වැටිතුරෙයි සහ පේදුරුතුඩුව පොලිස් ස්ථාන මගින් අධිකරණ තහනම් නියෝග ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

එහිදී යාපනය සහ කොපායි පොලිස් ස්ථානයන් වෙතින් ලබා ගෙන තිබූ අධිකරණ තහනම් නියෝගයන් ඉවත් කරන ලෙස ඉල්ලා යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් විසින් මෝසමක් ඉදිරිපත් කර තිබිණි. ඉන්පසුව යාපනය මහෙස්ත්‍රාත් පීටර් පොල් මහතා විසින් විරෝධතාකරුවන් නිරෝධායන නීතිවලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට දැනුම් දී, ලබා දී තිබූ අධිකරණ තහනම් නියෝගය ඉවත් කරනු ලැබීය.

මේ අතර කොඩිකාමම් සහ කයට්සි පොලීස් ස්ථාන විසින් විරෝධතා පෙලපාලියට එරෙහිව ඉදිරිපත් කළ අධිකරණ තහනම් නියෝග අධිකරණයෙන් නිශ්ප්‍රභ විය.

කෙසේ වෙතත් විරෝධතා පා ගමන 07 වනදා පොලිගණ්ඩි ප්‍රදේශයෙන් අවසන් වීමෙන් පසුව පේදුරුතුඩුව, නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන මගින් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) දින කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ පොලිගණ්ඩි ප්‍රදේශයෙන් අවසන් වූ විරෝධතා පාගමනට සහභාගී වූවන් නිරෝධායන නීති කඩකරමින් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකර විරෝධතාවයේ නිරත වූ බවය. එම පොලිසිය විසින් සංවිධායකයින්ට එරෙහිව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නෙල්ලිඅඩි පොලීසියේ නඩුව නැවත මැයි 25 වනදා ද, පේදුරුතුඩුව පොලීසියේ නඩුව මාර්තු  29 වනදා ද වැල්වැටිතුරෙයි පොලීසියේ නඩුව මැයි 19 වනදා දක්වා කල් තබා ඇති අතර එම දිනයන්ට නීතිපතිගේ උපදෙස් පරිදි නඩුව විභාග කරන බවට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ගයත්‍රී සයිලනී මහත්මිය සඳහන් කළාය.