නීති සිසුවියගේ ලක්ෂ 26 ක අබරණ - මුදල් කොල්ලකයි


(සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල)  
  
විනෝද සංචාරයක යෙදී අහංගම හෝටලයක නවාතැන් ගෙන සිටි නීති සිසුවියකගේ රුපියල් විසිහය ලක්ෂ අසූ හතර දහස් දෙසිය හැටක් වටිනා රන් අාභරණ දේශීය සහ විදේශිය මුදල්ද සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම නීති සිසුවිය තම මිතුරියක් සහ ඇගේ සැමියාද සමඟ විනෝද සංචාරයක යෙදි සිටියදී අහංගම අහංගම්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇත. 


එහිදී  මෙම මිතුරු පිරිස හෝටලයෙන් පිටව ගොස් වැලිගම ප්‍රදේශයේ සංචාරයක නිරතව ආපසු හෝටලයට පැමිණ කාඩ් සෙල්ලම් කර තිබේ.


පසුව පිරිස නින්දට ගොස් ඇති අතර නීති සිසුවිය දොරේ අගුල නොදමා කාමරයේ නින්දට ගොස් ඇත. 
අලුයම නීති සිසුවියට නැගිට බලන විට මුහුණ වසා ගත් පුද්ගලයකු ඇගේ කාමරය තුළ සිටිනු දැක තිබේ.

එම අවස්ථාවේ කාමරය තුළ සිටි පුද්ගලයා ඇයට පිහියක් පෙන්වා කෑ නොගසන ලෙස තර්ජනය කරමින් පස්සෙන් පස්සට යන විට නීති සිසුවිය එම පුද්ගලයා කාමරයෙන් එළියට තල්ලුකර දමා දොර වසා යාබද කාමරයේ සිටි මිතුරියට සහ ඇගේ සැමියාට දුරකතනයෙන් මේ බව දැනුම්දී තිබේ.


එවිට ඔවුන්ද පැමිණ පරික්ෂා කිරීමේදී රුපියල් විසි හතර ලක්ෂ දහනව දහසක් වටිනා රන් අබරණද මුදල් රුපියල් හැට දහසක්ද රුපියල් දෙලක්ෂ පන් දහස් දෙසිය හැටක් වටිනා  විදේශ මුදල් ඇතුළු රුපියල් විසිහය ලක්ෂ අසූ හතර දහස් දෙසිය හැටක් වටිනා දේපොල සොරකම් කර ගෙන ගොස් ඇති  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.