නීති විරෝධීව මෙරටට පැමිණි 28 ක් උතුරු මුහුදෙන් අල්ලයි


ඉන්දිකා රාමනායක 

ඉන්දීය ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුලූව සිටි මියන්මාර් ජාතිකයින් 28 දෙනකු  හා ඉන්දීය ජාතිකයින් දෙදෙනකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී අද  (30) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. මෙම ධීවර යාත්‍රාව පදවා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනකු  බවද නාවික හමුදාව සදහන් කරයි.

 යාත්‍රාව  පෙරවරු 10.00 ට පමණ කන්කාසන්තුරේට  මුහුදු සැතපුම් 12 ක උතුරින් මුහුදු ප්‍රදේශයේ  දී උතුරු නාවික විධානයේ වෙරළාරක්ෂක යාත්‍රාවක් වෙත නිරික්ෂණය වී ඇති ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් චමින්ද වලාකුළුගේ මහතා පැවසීය.

නාවික හමුදා නිලධාරීන් මෙම යාත්‍රාව නවත්වා පරීක්ෂා කිරීමේ එහි  සිටි මෙම මියන්මාර ජාතිකයින් සහ ඉන්දීය ජාතිකයින් දෙදෙනා  අත්අඩංගුවට ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් හත්දෙනකු, පිරිමි ළමුන් හත් දෙනකු, කාන්තාවන් හත්දෙනකු සහ ගැහැණු ළමුන් 7 දෙනකු සිට ඇත. මෙම පිරිස අතර දින පහක බිළිදෙකු සහ මාස 4 බිළිදියක් ද සිටි බවද නාවික හමුදාව පවසයි.