නීති විරෝධීව කුවේටයේ සිටි 26ක් පිටුවහල් කරයි


( ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි   ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද( 08 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසීය .

 ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , අධිකරණය  සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන , ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ .

එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට  ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර  නොමැති වූවන් සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි .