නීති ක්ෂේත්‍රයට පමණක් වැටුප් වැඩිකිරිමට සංගම් 18 ක විරෝධය


        
 
 
 
නිමල කොඩිතුවක්කු
       
නීති ක්ෂේත‍්‍රයට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරිමට එරෙහිව වෛද්‍ය, පරිපාලන, ඉංජිනේරු ඇතුළු සංගම් 18 ක් එක්ව ඉදිරි සති දෙකක කාලය තුළ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවන බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කොළඹදී පැවසීය.
 

රජය ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් මේ වනවිට විධායක නිලධාරීන්ට බරපතල වැටුප් විෂමතා ගැටලූවක් නිර්මාණය වී ඇති බවද ඔහු කියා සිටියේය.
 
දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ අද (14) කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මෙසේද කීය.
 
රජය නීතී ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප් සහිතව රුපියල් 75,000ක  දීමනාවක් ලබා දීලා තියෙනවා. එයට අමතරව නීති ක්ෂේත‍්‍රයට අද ඇතුළු වන ප‍්‍රාථමික ශ්‍රේණියේ  නීති නිලධාරියකුගේ සිට තමන්ගේ වාහනය සඳහා රුපියල් ලක්ෂයක් දක්වා ඉන්ධන දිමනාවකුත් රුපියල් 20,000ක රියදුරු දීමනාවකුත් දෙනවා.
 
මෙම සියලූ දීමනා එක රුපියලකින් හෝ අඩුනොකර දීප ව්‍යාප්ත සේවා සහ විධායක සේවා නිළධාරීන්ට  ලබාදිය යුතුයි කියලා අපි රජයට අවධාරණය කරනවා.
 
එකට දොළහේ අනුපාතයට වැටුප් වැඩි කිරිම  මෙම ක්ෂේත‍්‍රවල නිළධාරින්ටත් ලබා දිය යුතුයි. එහෙම නොකළහොත් ඉදිරි සති දෙක තුළ අපේ සේවාවවන් 18 ක නිළධාරින් 35,000 සමඟ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවනවා යැයිද ඔහු කියා සිටියේය.


මෙම අවස්ථාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා, දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ. එල් උදයසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුහ.