නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන කියන්න රංජන් එෆ්.සී.අයි.ඩීයට


(බිඟුන් මේනක ගමගේ )
 
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යවසායකයකු වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
 
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම පැමිණිල්ල කරන බව රාමනායක මහතා කීවේය.
 
නිව්යෝක් ටයිස්ම්ස් පුවත්පතේ පසුගිය 25 වැනිදා පළ වූ මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන අතර පසුගිය දශකය තුළ චීනය විසින් සහාය දෙනු ලැබූ වරාය ව්‍යාපෘති 35 ක් ඇතැයි ද  චීනය ඒවා මගින් රාජ්‍යන්හි ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනීම ක්‍රමානුකූලව කර ඇතැයි එම ලිපියේ අන්තර්ගත විය.
 
රටවලට ණය දීම මගින් බලය තහවුරු කරගැනීමේ  චීන න්‍යාය පිළිබඳව ශ්‍රී ලංකාව යනු විචිත්‍රවත් උදාහරණයක් යැයි ද චීන වරාය ඉදිකිරීම් මුදල්වලින් විශාල ප්‍රමාණයක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණයට වැය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් විය.