නිව්යෝක් ටයිම්ස් ගැන නීති උපදෙස් පැතුවා - මන්ත්‍රී නාමල්


නිමල කොඩිතුවක්කු

මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට එරෙහිව සිදුකරන විමර්ශන  අසාර්ථක වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා යොදා ගනිමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක යහපාලන ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ  මහතා පැවසීය.

බැඳුම්කර වංචාව ඇතුළු ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා වසන් කිරිම මෙවැනි උත්සාහයන්වල තවත් එක් උපායක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

නිව්යෝර්ක් ටයිම් පුවත්පතේ පළ වූ කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් නීති උපදෙස් පතා ඇති බව ද රාජපක්ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ප‍්‍රධාන කාර්යාලයේ අද(01) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී   නාමල් රාජපක්ෂ  මහතා මෙසේද කීවේය.

 ‘‘ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ  වාර්තාව පිළිබඳ  විශාල ආන්දෝලනයක් මාධ්‍ය තුළ සහ රට තුල ඇති කලා.  රජයේ මාධ්‍ය සහ රජයේ  මැති ඇමතිවරුන් මෙය භාවිතා කරන ආකාරය දිහා බලපුවහම බැඳුම්කර වංචාව ඇතුළු  අනිකුත් සියලූම  දේ යටගහන්න ආණ්ඩුව ගන්නා විවිධ  උපක‍්‍රමවල එක්  කොටසක් විදියට අපිට මෙය හඳුන්වා දිය හැකියි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවන බොහෝ වාර්ථාවල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ  අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා බහට ලක්කරලා තියෙනවා. ඒ වගේම  නොයෙකුත් අයගේ දේශපාලන  ඕනෑ එපාකම්  ඉටුකරගන්න නිව්යෝක් ටයිම්ස් පුවත්පත  පුවත් පල කරන බවත් මේ වනවිට මුලූ ලෝකයාම දන්න කාරනාවක්.

මේ පුවත්පත මහින්ද රාජපක්ෂ  මහතා සම්බන්ධ කරගනිමින් මුදල් ගණුදෙනුවක් ගැන කියලා තියෙනවා. එවැනි කසිම  මුදල් ගනුදෙනුවක්  පසුගිය මැතිවරණයේදී සිදුවුණේ  නැහැ කියන එක ඉතාම වගකිමකින් අපි ප‍්‍රකාශ කරනවා.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ  වාර්තාවල දැක්වෙන ආකාරයට එම  චෙක්පත් එදා ගිහින් දීලා තියෙන්නේ අරලිය ගහ මන්දිරයටයි.   ඇලෝසියස් මුදලාලිගෙන් චෙක් ලැබිලා  ඇමති ආරක්ෂකයන් ගිහින් මාරු කරපු අය පිලිබඳ පැමිණිල්ලක් දාන්න මහන්සි වෙච්ච නැති සමහර දේශපාලනඥයන් අරලියගහ මන්දිරයේ ගේට්ටුවට  ගිහින්දීපු චෙක් එකක් පිළිබඳ  ගිහිල්ලා එෆ්. සී. අයි. ඩී එකට පැමිණිලිත් දානවා.

මේ තොරතුරු  ලැබිලා තියෙන්නේ රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග  වලින් කියලා ඒ එක්කම එම පුවත්  වාර්තාවල දක්වා තියෙනවා.   2015 වසරේ ජනාධිපති වරණයෙන් පස්සෙත් රොයිටර් පුවත් සේවයේත්  මේ පිලිබඳ වාර්තාවක් පලවුණා.

ඉන්පසු පෝට් සිටි එක  නැවැත්තුවා. හම්බන්තොට  වරායේ දෙවන අධියරේ සංවර්ධන  කටයුතු නවත්තලා  මේ ආයතනය පිලිබඳ  පුලූල්  පරීක්ෂණ කරනවා කියලා මේ ආයතනය පිලිබඳ සෙවුවා.  ඉන්පසු පෝට්සිටි එකේ කටයුතු ඇතුළු මේ දේවල්  ඉදිරියට ගෙනියන්න මෙම සමාගමට  අවසර දෙන්න මේ අය තීරණය කළා. මේ සමාගම  යම්කිසි මුදල් අක‍්‍රමිකතාවයකට සම්බන්ධ නම් අපේ රටේ යහපාලනය  කියන ආණ්ඩුව කොහොම ද එම සමාගමටම   නැවත වතාවක් ව්‍යාපාර කරගෙන යන්න අවසර දීලා තියෙන්නේ.  ඒ 2015 පලවූ වාර්තාවට සමාන වාර්ථාවක් තමයි අද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ  අසත්‍ය කරුණු සහිතව වාර්තා කරලා තියෙන්නේ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  නාමල් රාජපක්ෂ  මහතා මෙසේද පැවසීය.

ප‍්‍රශ්නය : අපේ රටේ සිදුකරන විමර්ශන  වල තොරතුරු විදේශ  මාධ්‍ය වලට යනවා කියන එක ඔබ වගකීමේන්ද  කියන්නේ?

පිළිතුර : මම කියන්න  දෙයක් නැහැ. මේ  ලිපිය කියෙව්වහම එහි සඳහන් වනවා විශ්වාස  කටයුතු ආරංචි මාර්ගයකින් එම තොරතුරු එළියට ආවා කියලා. ඒ එක්කම  රන්ජන් රාමනායක මහතා ප‍්‍රසිද්ධියේ වේදිකාවේ කියලා තියෙනවා රාජ්‍ය ආයතනයකින් එම තොරතුරු  දුන්නා කියලා.

ප‍්‍රශ්නය : නව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවද?

පිළිතුර : මේ සම්බන්ධයෙන් නීතිමය  පියවර ගන්න පුළුවන් කරුණු පිලිබඳව අපිව දැනුම්වත් කරන්න කියලා අපි අපේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ට දැනුම් දීලා තියෙනවා.