නිවසකට ඇතුල්වී දේපොළ වලට හානි කළ එස්.අයි අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කෙසෙල්වත්ත කුඩිච්ච වත්ත ප්‍රදේශයේ නිවසකට පුද්ගලයින් දෙදෙනකු සමඟ  ඇතුළුවී එහි දේපොළ වලට පහරදී අලාභ හානි කළ බව කියන නාරාහේන්පිට පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (6) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
 
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නාරාහේන්පිට පොලිසියේ පාලන අංශයට අනුයුක්තව සේවය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
මේ මාස තුනට පමණක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා කෙසෙල්වත්ත පොලිසියේ දුෂණ මර්දන අංශයේ කටයුතු කරමින් සිටියදී මත් කුඩු ජාවාරම් කාරියක් සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වීමේ චෝදනාව මත නාරාහේන්පිට පොලිසියට මාරු කරනු ලැබූ  බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
 
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තවත් දෙදෙනකු සමඟ කෙසෙල්වත්ත කුඩිච්චි වත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසේ ජනේලයෙන් අතුළු වී එහි දේපොළ වලට පහරදී රුපියල් 70,500 ක පමණ අලාබ හානි සිදු කර තිබෙන බවට එම නිවසේ හිමිකාර කාන්තාව කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.