නිලූක පිරිමි කේවල ශූරතාව දිනාගනී
ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය.
නිලූක, ඊයේ (19 වැනිදා) පැවැති අවසන් තරගයේදී ඉන්දීය ක‍්‍රීඩක සෝරබ් වර්මා පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 21/15 සහ 21/18 ක් විය. වර්මා ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා වන අතර මෙම ජයග‍්‍රහණයත් සමගම නිලූකට ලෝක ශ්‍රේණිගතකිරීම් අතරේ 50 වැනි ස්ථානයට ආසන්න වීමට අවස්ථාව තිබේ.
බැඞ්මින්ටන් ලෝක සම්මේලන නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව 63 වැනි ස්ථානයේ පසුවන නිලූක මෙම වසරේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටම ඉක්මවීමට සමත්ව සිටින ක‍්‍රීඩකයාය.
තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ඉන්දුනීසියානු ක‍්‍රීඩකයකු පරදවා නිලූක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
මෙවර ‘ඉරාන් ෆාජ්’ තරගාවලියට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් වන ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල්වල ක‍්‍රීඩකයෝ අවසන් මොහොතේදී තරගාවලියට ඉදිරිපත්ව සිටිති. ඉන්දුනීසියාවෙන් ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක්, ඉන්දියාවෙන් ක‍්‍රීඩකයෝ පස් දෙනෙක්ද තරගාවලියට සහභාගිවී සිටිති.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙම වසරේදී පැවැත්වෙන නිසා කී‍්‍රඩකයන් අතර තරගකාරීත්වයක් පැවතීම ඊට හේතුවයි.
ඉරාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වු එකම ක‍්‍රීඩකයා නිලූක වේ.

