(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
අකුරැස්ස පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග අද (21) වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ගංවතුරරෙන් යට වී ඇත.
මොරවක හා කඹුරුපිටිය යන ප්‍රදේශ වල යුද හමුදා කණ්ඩායම් දෙකක් ස්ථානගත කළ බවත් හදීසී අවස්ථාවකට මුහුණ දීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් කර්නල් ප්‍රියංකර පියසේන මහතා පැවසීය.
දෙනියාය හා කොටපොල ප්‍රදේශ වලට තවදුරටත් වැසි සහිත කාලගුණික තත්වයක් පැවතියහොත් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම වැඩි විය හැකි බවද ඒ මහතා වැඩි දුරටත් කීය.
කෙසේ වෙතත් අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ ද අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ද අකුරැස්ස කද්දුව මාර්ගයේ අතුරලිය ද ජලයෙන් යට වී පැවතීම නිසා එම මාර්ග වල වාහන ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණ හිට තිබේ.
කිරම ආර පිටාර ගැලීම නිසා මාකදුර නගරය ආසන්නයේ පහත්බිම් රැසක් ද යට වී ඇත.මේ නිසා මාතර කොටපොල මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු විකල්ප මාර්ග ඔස්සේ සිදු වි ඇත.
අකුරැස්ස , තිබ්බොටුවා ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස ද වැසි ජලයෙන් යට වී තිබේ.
මීට අමතරව නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පැවතිණි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට මිලි මීටර් 150 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බවයි.