
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු මිය ගොස් ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) පුද්ගලයෙකි.
ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිටියදී වයිරසය පැතිර යාමේ අවදානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී ඩුබායි රාජ්‍යයේ රැදී සිට තිබේ.
දිවයිනට පැමිණිමට ගුවන් පහසුකම් නොමැති වීමෙන් ඉකුත් (1) වැනිදා දිවයිනට පැමිණ ඇති ඔහු නුවරඑළියේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු වී ඇත. ඔහු හෘද්‍යාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බව වෛද්‍යවරු පවසති.
මියගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතාගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අද (7) නුවරඑළිය නාගරික ආදහනාගාරයේ දී කොවිඩ් 19 වැළදුණු ආසාදිතයකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑළිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.
ඉකුත් මස (31) සහ මේ මස (01) දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑළියේ පිහිටි සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර තිබිණි. ඉන් දෙදෙනෙකු වයිරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මරණකරුගේ අවසන් කටයුතු සඳහා සිදුකරන ආගමික වතාවන් නුවරඑළිය මහ රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඒ සදහා ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ද සහභාගී වී සිටියහ.




