නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා ආසාදිතයන් 19 ක්


( ඩයනා උදයංගනී)
 මේ වන විට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19  ක්  බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පැවසීය.

පුද්ගලයින් 2287  දෙනකු මේ වන විට  නිරෝධායන මධ්‍යස්ථාන  සඳහා පැමිණ ඇති බව යුද හමුදාපතිවරයා කීවේය.

ආසාදිත වූ පුද්ගයින් 19 දෙනාගෙන්  එක් පුද්ගලයකු එක්සත් රාජධානියේ  සිට පැමිණි අයකු වන අතර සෙසු  පුද්ගලයෝ 18 දෙනාම ඉතාලියේ සිට පැමිණ නිරෝධායන කටයුතුවලට සම්බන්ධ වූ පිරිස බවද  යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම සියලු දෙනාම කන්දකාඩු  නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිස බවද  කීවේය.

මේ වන විට   නිරෝධායන මධ්‍යස්ථාන 16 ක්  පිහිටුවා තිබේ. ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වට මුහුණ දීම සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉන්දියාවේ සිට රැගෙන එනු ලබන සියලු දෙනා නිරෝධායන කටයුතුවලට යොමු කරන බවද කීවේය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  යුද හමුදාපතිවරයා මේ බව කීවේය.