නිරෝධායන නීති කඩා උද්ඝෝෂණය කළ 12 ක් අත්අඩංගුවට


(බී.ජී.චතුරංග සහ අතුල බණ්ඩාර)

රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ රැකියා ලබාදුන් සේවකයන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට අනියුක්ත කිරීමට විරෝධය පාමින් නීරෝධායන නීති කඩ කරමින් උතුරු මැද පළාත් සභාවට අයුතු අන්දමින් ඇතුළුවූ ආණ්ඩුකාර කාර්යාලය වැටලීමට උත්සහ කළ නගර සභා සේවකයන් 12ක් අද (1) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

නගර සභාවේ සේවකයන් විශාල පිරිසක් අද (1) දෙවන දිනටත් නගර සභා පරිශ්‍රයේ කළු කොඩි ඔසවා මෛත්‍රීපාල සේනානායක ප්‍රධාන මාර්ගය නගර සභාව ඉදිරිපිටින් හරස් කර විරෝධය පලකර පසුව ආණ්ඩුකාරවරයා හමුවීමට උතුරු මැද පළාත් සභාවට සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණියහ.

එසේ පැමිණි විරෝධතාකරුවන්ට පළාත් සභා පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොදෙමින් ඇතුළුවීමේ පිවිසුම හා පිටවීමේ ගේට්ටුව පළාත් සභා ආරක්ෂක අංශය විසින් වසාදමා තිබුණි.විරෝධතාකරුවන් පිරිසක් ඒ අවස්ථාවේ පළාත් සභා ගොඩනැල්ල පිහිටි පරිශ්‍රයට පිවිසුම් දොරටුට උඩින් පැන ඇතුළුවි ආණ්ඩුකාර කාර්යාලය වැටලීමට පියවර ගත්හ.

පළාත් සභාවේ උසස් නිලධාරියෙකු කළ දැන්වීමකට අනුව එම ස්ථානායට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේනක ප්‍රසන්න මකුන්දෑගම මහතා හා උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පාලිත නිශ්ශංක යන මහත්වරුන් ඔවුන්ට පළාත් සභාවට අයුතු අන්දමින් ඇතුළු නොවන ලෙස හා එසේ කළහොත් නිරෝධායන නීති කඩකිරීම හා අයුතු ඇතුල්වීමට පොලිස් අත්අඩංගුවට ගන්නා බව දැන්වූහ.

එහෙත් එම අවවාදයන් නොතකමින් සේවකයන් පළාත් සභාපරිශ්‍රයට ඇතුළු වනවාත් සමගම කැරලි මර්දන පොලිස් කණ්ඩායම සමග පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතා ඇතුළු පිරිසක් කලහකාරි අන්දමින් පළාත් සභා පරිශ්‍රායට ඇතුළුවීමට උත්සහ කළ පිරිස අල්ලා ගැනීමට කටයුතු කළහ.එම අවස්ථාවේ එහි සිටි සේවකයන් හිස්ලූලු අත දුවමින් විවිධ ස්ථාන වල සැගවුණු අතර 12දෙනෙකු අත්අඩංගුවට පත්විය.

ඔවුන් අත්අඩංගුවට ගෙන බස් රථයට නංවා ගැනිමෙන් පසුව මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආහ.අත්අඩංගුවටගත් සැකකාර සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුනොකරීමට මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කළ අතර ඔවුන්ට තරයේ අවවාදකර නීරෝධායන නීති කඩ නොකරන සාමකාමිව ගැටළු විසදාගන්න ලෙස අවවාදකර පසුව මුදා හැරියේය. 

අනුරාධපුර මහ නගර සභාවේ දස වසරකට ආසන්න කාලයක් සේවයේ නිරත සේවකයන් 180 කට වැඩි පිරිසක් නගර සභාව තුළ සිටියදී එම වෘත්තියන්ටම ස්ථිර පත්වීම් ලබාදී පිරිසක් අනියුක්ත කිරීමට විරෝධය පළකරමින් ඊයෙ (30දා) සිට සේවකයන් වැඩවර්ජනය කරමින් විරෝධතාවක නිරතවී සිටි.