නියම සමෘද්ධි හිමිකරුවන් හොයන්න එජාපෙන් කමිටුවක්


නිමල කොඩිතුවක්කු
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (01) පස්වරුවේ පැවති  එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අඩු ආදායම් ලාභීන්ට රජයෙන් ලබාදෙන  සමෘද්ධි සහනාධාරය  ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා  කමිටුවක් පත්කර තිබේ.
 
මෙම කම්ටුවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක් පත්කර ඇත.
 
සමෘද්ධි සහනාධාරය ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් වන වාර්ථාවක් එම කමිටුව මගින් විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාට භාර දිමට නියමිත අතර ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග  ගැනීමට එහිදී එකඟතාවය පළව තිබේ.
 
පක්ෂය ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ. උපාධිධාරීන් ඇතුළු තරුණ පිරිස් සඳහා රැකි රක්ෂා ලබාදීමේදී නියමිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහාද විශේෂ අවධානයක් යොමුව ඇත.
 
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂය  පවත්වන  මැයි දින සැමරුම සම්බන්ධයෙන්ද එහිදී සාකච්චාවට ලක් කෙරුණු බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.