හිරාන් ප්‍රියංකර ජයසිංහ
මහකුඹුක්කඩවල වල්පාළුව ගම්මානයේ ජනතාවට නියං ආධාර යටතේ ලබා දී ඇති සහල් ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ ඒවා බව කියමින් ජනතාව අද (19) දින විරෝධතාවයක් මතු කර ඇත.
මේ පිළිබඳව පරික්ෂණ පැවැත්වීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් . චිත්‍රානන්ද මහතා අදාල නිලධාරින්ට නියෝග කර තිබුණි.
අදාල සහල් තොග ජනතාවට ලබා දීමට ඇනවුම භාර දී ඇත්තේ මදුරන්කුලිය සමුපකාර සමිතියට වන අතර එය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වල්පාලුව ග්‍රාම නිලධාරි මගින් බෙදා දීම සදුදා සිදුව තිබුණි.
ජනතාවට ලබා දි තිබූ වියළි සලාක මල්ලේ රුපියල් 1370 ක වටිනාකමට සහල් කිලෝ පහක් ඇතුළු වියළි සලාක තිබූ බව කියයි.
කෙසේ නමුත් මෙම වියළි සලාකයේ තිබූ සහල් කිලෝ පහ අසුරා තිබූ ඇසුරුම් වල 2014 වසරේ කල් ඉකුත් වන දින වලට උඩින් අලුත් දින අලවා තිබීමත් ලබා දී ඇති සහල් ආහාරයට ගැනීමට නොහැකි තත්වයක පවතින බවද ජනතාව චෝදනා කරති.
අදාල සහල් සඳහා මතු වු විරෝධතා හේතුවෙන් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පද්මිනි කේ අබේසිංහ මහත්මියගේ උපදෙස් මත මහකුඹුක්කඩවල මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම් .එල්.අශෝක මහතා සහ නිශාන්ත කුමාර කරුණාරත්න යන මහත්වරුන් අදාල පරික්ෂණ පවත්වා ඇත.
එහිදි ජනතාවගේ තොරතුරු මත වෙනත් ස්ථානයක ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් ද භාරයට ගෙන තිබූ අතර එම ස්ථානය මුද්‍රා තැබීමට කටයුතු කර තිබූණි .
කෙසේ වෙතත් මෙම වියළි සලාකයට ලබා දී තිබූ තේ කොළ පැකට් වල දින මකා තිබූ බවත් ඒ වෙනුවට අලුත් දින අලවා තිබූ බවද මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මදුරන්කුලිය සමුපකාරයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එල්.එම් අශෝක මහතා පැවසීය .

