නිදන් ගන්න ගිය 8 ක් අත්අඩංගුවට


(මඩුකන්ද  සිතුම් චතුරංග)

නිධානයක් ගොඩ ගැනීම සඳහා භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන මුලතිව් ප්‍රදේශයට රැගෙනයමින් සිටි යුද හමුදා විනයාරක්ෂක බලකා සෙබලෙකු , ව්‍යාපාරිකයකු ඇතුඵ පුද්ගලයින් අටදෙනකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (28) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

වවුනියාව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම් අතරතුර සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ස්කෑනර් යන්ත්‍රය හා නිදන් හෑරීම සදහා භාවිතාකරන උපකරණ තොගයක් අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවටගත් නිදන් හෑරිමේ උපකරණ අතර ‘ නිදන් අඳුණක් ’ විවිධ බෙහෙත් තෙල් ද්‍රව්‍ය හා පූජා භාණ්ඩ රැසක්ද වෑන් රථයේ තිබී හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී හමුවූ ස්කෑනර් යන්ත්‍රය ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය යටතේ පමණක් මෙරටට ගෙන්විය හැකි උපකරණයක් බවට හඳුනාගෙන ඇතැයිද කීය.

මුලතිව් ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් මෙලෙස ස්කෑනර් යන්ත්‍ර යොදා පරීක්ෂා කොට නිදන් හෑරිම ආරම්භ කිරීමට සුදානම් කොට තිබූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූයේ අත්අඩංගුවටගත් හමුදා සෙබලා ගල්කුලම යුද හමුදා විනයාරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ අයකු බවත් ඔහු හා අනුරාධපුරයේ ව්‍යාපාරිකයා විසින් නිධානය හෑරිම සඳහා සෙසු පුද්ගලයින් මෙහෙයවා ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, නොච්චියාගම, මීසාලෙයි, වඩ්ඩුකොඩ්ඩෙයි, රාගල හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ත් 53 හැවිරිදි පුද්ගලයින් වෙති.

සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.