නිකිණි වැස්සට හසුවූ චාන්දනී සෙනෙවිරත්න


යම්කිසි චරිතයක් පේ‍්‍රක්ෂකයාට දැනෙන්නට, හැඟෙන්නට, විඳින්නට හැකි ලෙස රංගනයේ යෙදෙන ශිල්පිනියක ලෙස චාන්දනී සෙනෙවිරත්න හඳුන්වාදිය හැකිය. ඇය අපට සිටින දක්ෂතම රංග ශිල්පිනියන් අතළොස්සට අයත් තවත් චරිතයකි. ඇය ගැන අද බොහෝ විචාරකයින් මෙන්ම පේ‍්‍රක්ෂකයින් කතා කිරීමට හේතුව අරුණ ජයවර්ධනගේ ”නිකිණි වැස්ස” චිත‍්‍රපටයේ රඟපාන චරිතය නිසාය. නිකිණි වැස්සට අපූරු ජීවයක් කැවූ චාන්දනී සමග අපි කතා බහකට එක්වෙමු.

 

මේ චරිතය ගැන කරන සඳහනකින් අපි පිළිසඳර ඇරඹුවහොත්?
මෙය සත්‍ය කතාවක් වටා ගොනු වූ චරිතයක්. ඇයගේ සත්‍ය චරිතය සහ ඇයගේ ජීවිතයේ මුහුණපාන්නට වූ කාරණා ගොනුවූ චරිතයක්. සාමාන්‍යයෙන් බහුලව අපට මුණ ගැහෙන චරිතයක් නොවේ. මරණයට පත්වූ කෙනකුගේ දේහය මල් ශාලාවේ සිට එම්බාම් කිරීමේ කටයුත්තේ සිට සියල්ල සිදුවන්නේ ඇයගේ අතින්.


මේ චරිතය කරද්දී ඔබට දැනිච්ච දේවල් මොනවද? කොහොමද මේ චරිතය ගැන හැඟෙන්නෙ?
මෙතෙක් කළ චරිත සමග එය සැසඳිය යුතු නැහැ. සැසඳීමක් කරන්න මම කැමති නැහැ. සෑම නිර්මාණයක්ම මට වැදගත්. නමුත් මෙම චරිතයේ හැටියට ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේම මෙවැනි චරිත විරලයි.

 


එවැනි විරල චරිතයකට රංගනයෙන් දායකවීම ඔබ දකින්නෙ?
මේ චරිතයෙ නම සෝමලතා. සෝමලතා වැනි චරිත ආගන්තුක නැහැ. නමුත් ඇය කරන මෙම වෘත්තිය ආගන්තුකයි. එනිසා ඒ ආගන්තුක බව මකා ගන්න ඒ වෘත්තිය සාමාන්‍ය දෙයක් බවට පත්කර ගැනීම සඳහා සත්‍ය ලෙස ඇය කරන කටයුතු දැක බලා ගැනීමට සම්බන්ධ වුණා. මිනියක් එම්බාම් කිරීමේ සිට නිවසට රැගෙන යාම දක්වා කරන ඒ කටයුත්ත ලොකු අත්දැකීමක් වුණා. සාමාන්‍ය ජීවිතයේදී මිනියක් වෙතින් ඈත්ව කටයුතු කිරීම කාගෙත් කැමැත්තයි. නමුත් ඒ ඈත්වීම වෙනුවට මිනියකට ළංව කටයුතු කිරීමට සිදුවුණා. එය එහෙම වුණේ සෝමලතාත් අප අතර සිටින චරිතයක් නිසයි. අරුණ සමග මෙහි පිටපත ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කළ බව කියන්න පුළුවනි.

 


පේ‍්‍රක්ෂකයින්ට මෙය කෙසේ සමීප වේවිද?
පේ‍්‍රක්ෂක රසය එකිනෙකාට වෙනස්. නමුත් සිනමාත්මක රසයට පුරුදු පුහුණු වූ පිරිසක් සිටිනවා. කැමති වගේම අකමැති පිරිසක් සිටින්න පුළුවනි. එය සාපේක්ෂයි. කෙසේ වෙතත් මේ චරිත වෙතින් විකාශය වන්නේ සැබෑ මානුෂීය අවස්ථා වෙන්න පුළුවනි. ඒ හැර බලහත්කාරයෙන් ඇතුළු කරගත් දේවල් කිසිවක් නැහැ.

මෙලෙසින් රංගනයේ විවිධ පරාසයන් අතර සිටින ඔබ වේදිකාවේදී පුත‍්‍ර සමාගම, මායාදේවි සහ බර්නාඩාගේ සිපිරි ගෙය සමග අපට හමුවනවා. ඊට අමතරව රූපවාහිනියට ලබා දෙන දායකත්වය නැති තරම්?
අප්පච්චි ටෙලි නාට්‍යයට දායක වුණාට පසුව, කරන්න තරම් හිතක් දෙන, හිතට ආසා හිතෙන, ඒ කරන දේට සතුටු වන විදියෙ දෙයක් ලැබුණෙ නැහැ. මෙගාවලට නම් යන්නෙ නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් කරාවි.

 

 


හොඳ චරිත කියන දේ ඔබ විග‍්‍රහ කරන්නෙ මොන විදියටද?
එයින් අදහස් කරන්නෙ ලෝකයේ තියෙන විශිෂ්ටතම පිටපත ලැබෙන කල් බලන් ඉන්නවා කියන එක නම් නෙවෙයි. නිකම්ම නිකම් නොවූ සිද්ධි සමූහයකට දායක වීම ඵලක් නැහැ. මුලින්ම ඒ චරිතය මට දැනෙන්න එපායැ. හැමෝම සතුටු වෙන්න ඒ නිර්මාණයේ ගුණය තියෙන්න  ඕනෑ. චරිතයක් සතුටින් බාර ගන්න ඒ වටපිටාව බලපානවා. කිසිම හේතුවක් නැතිව, නිකම්ම කරන්න දෙයක් නැහැනෙ.

 


කෙසේ වෙතත්, කලාවට සමීපව ගෙවී යන මේ ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොමද? හැඟෙන්නෙ කොහොමද?
සතුටු විය හැකියි. විවිධ චරිත රංගනයන්ට දායකවුණා. එය උපරිම සතුටම කියලා මම හිතන්නෙ නැහැ. වෘත්තීය මට්ටමින් හිතන විට එය ගොඩාක් දුරයි. රංගන වෘත්තියේදී සීමාව මෙතැනයි කියා දක්වන්න බැහැ. රංගන ශිල්පිනියක ලෙස ගත්තාම චරිත රංගනය අතින් සතුටු විය හැකි සීමාව ඇත්තේ අනන්තයක වෙන්න පුළුවනි. කෙසේ වෙතත් ලැබුණු දේ ගැන සතුටු වන අතරේ ඉදිරියටත් තවත් බලාපොරොත්තු රංගනය කෙරෙහි තබා තිබෙනවා.

 


පේ‍්‍රක්ෂකයකු ලෙස පවතින කලාව ඔබට දැනෙන්නෙ කොහොමද?
මට හිතෙන විදියට, විෂයයක් ලෙස ගත්තාම මාධ්‍ය ගැන හිතන, ඒ ප‍්‍රකාශන මාධ්‍ය කෙරෙහි අරුත ගැන කැක්කුමක් තියෙන පිරිස ඉන්නෙ ටික දෙනයි. ඒ අය හරහා නිර්මාණයක් කිරීමේ වටපිටාව බලා සිටීම පාඩුවක්. ඒ කියන්නෙ ඒ අය වෙතින් නිර්මාණ බිහිවීම ප‍්‍රමාණවත් නැහැ. අඩුවක් තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.

 


මම මළවුන්ගේ ලෝකයට ගියෙමි. එතැනත් මෙතැනත් හැම තැනම මළවුන් වැතිර සිටී. බැලූ බැලූ හැම අත මළවුන්ය. මම ඔවුන් අතරින් ඇවිද ගියෙමි. සියල්ල අඩ අඳුරේය. දොර ජනේල වා කවුළු කිසිවක් නැත. අවට වාතය ඝනකමින් වැඩිය. හුස්ම ගැනීමද දැඩි ආයාසයකින් කළ යුතුව ඇත. මට මහත් අපහසුවක් දැනේ. මා තවත් දින ගණනක් - සති ගණනක් මෙහි රැඳිය යුතුය. ඒ ගැන සිතත්ම සිත තැති ගනී. හදවත වේගයෙන් ගැහේ. දෙපා පණ නැතිව ඇද වැටෙන්නට පෙර මම හිඳගතිමි.

නිකිණි වැස්සේ සෝමලතා ලෙස එය මගේ පළමු අත්දැකීම විය. නිකිණි වැස්ස මගේ නිළි ජීවිතයේ කූඨප‍්‍රාප්තියයි. මෙවන් පෙර පුහුණුවකින් පසු මා රඟ පෑ පළමු හා එකම සිනමා පටයද එයයි. මම ඒ ගැන දැන් ඔබට කියමි. සෝමලතා මිනී පෙට්ටි සාප්පුකාරියකි. තිර පිටපතට අනුව ඇයට භාරවන මළසිරුර රැගෙන ඒම, සැකසීම, සැරසීම, දෙනේ තැන්පත් කිරීම මේ ආදී කුදු මහත් සියළු කටයුතු ඇය අතින්ම සිදුවේ. ඇයට අත්උදව්කරුවෙකුද සිටී. ඔහු නමින් පියසිරිය. ජගත් මණුවර්ණ ඒ භූමිකාවට පණ පොවයි.

රූගතකිරීම්වලට පෙර අප දෙදෙනා අවමංගල්‍ය ශාලාවක පුහුණුවක් ලැබිය යුතු බව අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනගේ තීරණයයි. ඒ අනුව නිකිණි වැස්ස රූගත කළ අම්පාර ප‍්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක පුහුණුවීම් කටයුතු සූදානම් කර තිබුණා. මෙයට පෙර කිසි දිනක මළ සිරුරක් අතපත ගා නොතිබුණු මම මුල් දිනයේ එයට කෙසේ මුහුණ දුන්නාදැයි සිතා ගන්නට ඔබට භාරකරමි. ජගත් මා හා සිටීම මට ලොකු අස්වැසිල්ලක් විය. ඔහු මුල සිටම පළපුරුද්ද ඇත්තෙකු සේ වැඩට බැස සිටී. මම ද සිතට ධෛර්ය ගෙන ටිකෙන් ටික මළවුන් හා මිතුරු උනෙමි. දෙවන තුන්වන දිනය වන විට මළවුන් අතර ගත කිරීම මට අමුත්තක් නොවීය. මා ලද ඒ පුහුණුව කෙතරම් වැදගත් දැයි මට වැටහුනේ පසුව කළ රූගත කිරීම් පටන් ගත්තාට පසුවයි.

 නිකිණි වැස්ස රැුගෙන අප ඩුබායි අන්තර්ජාතික සිනමා උළෙලට ගිය විට හමුවූ හැම විදේශ නිළියක්ම වාගේ විමසුවේ මා කෙසේ ඒ දර්ශන වලට මුහුණ දුන්නාද කියලයි. මේ සියළු විස්තර ඔවුන්ට කී විට ඔවුන් විශ්මයට පත්වුණා. නිකිණි වැස්සේ සෝමලතා මා මෙතෙක් රඟපෑ චරිත අතරින් සුවිශේෂ බව කිව යුතුය. හුදෙකලා වූ ගැහැණියක් කෙතරම් නම් අසරණ වෙනවාද? එවන් ගැහැණියකට ඒ අභියෝග මැඩගෙන මතුවන්නට ඇය තුළ ආත්ම ශක්තිය ගොනුවන හැටි එක මොහොතක වේදනාවත් තවත් මොහොතක දැඩි අධිෂ්ඨානයත් ඊළඟ මොහොතේ සතුටක සේයාවත් මතු කළ යුතුව තිබූ සෝමලතාගේ චරිතය කොයිතරම් සංකීර්ණද? එවන් සංකීර්ණ චරිතයකට මා උපරිමයෙන් සාර්ථකව මුහුණ දුන්නායැයි මට හරිහැටි තේරුම් ගියේ ඩුබායි උළෙලේ අවසන් දා සම්මාන රාත‍්‍රියේ මාගේ රංගනය ඇගයීමට ලක්වූ මොහොතේයි. එදා ඒ ශාලාවට රැස්ව සිටි ලෝකයේ නන් දෙසින් පැමිණ සිටි සිනමා දැවැන්තයන්ගේ ජය ඝෝෂා මැද වේදිකාවට පියනගන මොහොතේ මගේ කණට වැටුනු ජූරියේ ප‍්‍රධානියාගේ නිර්දේශය ජීවිතය පුරාවට මගේ හදවතේ තැන්පත්ව තියෙනු ඇත. ”පුංචි රටෙන් පැමිණි මේ සොඳුරු රංගන ශිල්පිනිය තිරය මත ප‍්‍රාතිහාර්යයක් කළා යැයි මම සිතමි.”

නිකිණි වැස්ස නරඹන ඔබේ සිතේ සෝමලතා ගැන ඇතිවන හැඟීම දැනගන්නටත් මම ආසයි.


                                                                          
චාන්දනී සෙනෙවිරත්න - නිකිණි වැස්සේ සෝමලතා.