නිකවැරටියේ කලාප කාර්යාලයේ මුදල් වංචාවක්


ජුඩ් සමන්ත
 
නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට ව්‍යාජ අත්සන් යොදමින් වැටුප් ලබාගත් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස එම කාර්යාලයේ සේවකයින් වයඹ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන පරිපාලන නිලධාරී එම්.ජී.විමලසේන මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට වෙනත් අයෙකු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙනුවට ඇගිළි සළකුණු යන්ත්‍රයේ සටහන් තබා ඇත.

ඒ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඇගිළි සළකුණ වෙනුවට වෙනත් අයෙකුගේ ඇගිළි සළකුණ එම යන්ත්‍රයේ ලියාපදිංචි කිරීමටද කටයුතු කර තිබේ.මේ සම්බන්ධයෙන් හෙළිවීමෙන් පසුව පෙබරවාරි 7 වැනිදා එය ද වෙනස් කිරීමට කටයුතු කර ඇත.

දිගින් දිගටම සිදුවන මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කලාප කාර්යාලයේ සේවකයින් විසින් ඉහළ නිලධාරීන් ගෙන් ඉල්ලා ඇති නමුත් ඒ සඳහා ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.