(ප්‍රියාණි මංගලිකා )
අක්කර දහසකින් පමණ යුතු නිකවැරටිය මාගල්ල ජලාශය ඉදිකරන ලද මහසෙන් රජු සිහිපත් කරමින් , ජලාශ බැම්ම මත ඉදිකරන ලද මහසෙන් රජ ප්‍රතිමාව විවෘත කිරීම අද (24) පෙරවරුවේ සිදුකෙරිණි.
කි,ව. 277 සිට 301දක්වා මෙරට පාලනය කළ මහසෙන් රජු විසින් නිකවැරටිය මාගල්ල ජලාශය ඉදිකර ,ප්‍රදේශය හරහා දැදුරුඔයට ගලා ගිය ගං තිහ ඇලෙහි ජල කඳ මාගල්ල ජලාශයට හරවා කෘෂි කර්මාන්තය නගා සිටුවීමට එවකට කටයුතු කර ඇති අතර එය සිහිපත් කරමින් සහ කළගුණ දක්වමින් පිළිරුව විවෘත කෙරිණි.
මේවන විට මාගල්ල ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 7000 කට අධික සංඛ්‍යාවකට ජලය සපයමින්, මහව සහ නිකවැරටිය පෙදෙස් වලට පානීය ජලය ද සපයමින් ධීවර කර්මාන්තය හා පිහිනුම් පුහුණු කටයුතු සහ විවධ ජල අවශ්‍යතා සපුරාලමින් සිටින නිකවැරටිය ජනයාගේ හදවත බඳු වූ මාගල්ල ජලාශය මේ වන විටද ජලයෙන් පිරී ඉතිරී පවතී.
මහසෙන් රජු පාලන සමයේ ශ්‍රී ලංකාවේ මින්නේරිය ,කවුඩුල්ල ජලාශයන් ඇතුළුව මහා ජලාශ 16ක් ඉදිකර මෙරට කෘෂි කර්මාන්තය නංවා රට ස්වයංපෝෂිත කර ඇති අතර එම ජලාශ 16 ට මාගල්ල ජලාශයද අයත් වන බවද අතීත ලේඛනයන්හි සඳහන්ව ඇත.
නිකවැරටිය ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන් සහ වාරිමාර්ග කාර්යාලයේ ද උපදෙස් හා සහය ඇතිව ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධාන 17 ක දායකත්වයෙන් පිළිරුව ඉදිකිරිම සිදු කෙරිණි.
මහසෙන් රජ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට වන්නිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියන් ඇතුළු මහා සංඝරත්න, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර, වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.පියදාස, ව්‍යාපාර අධිකාරි ආර් .එම්.රාජරත්න යන මහතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද , මාගල්ල ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති රත්නතිලක හේරත් මහතා ඇතුළු ගොවි සංවිධාන නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.



