නැවේ හානිය තක්සේරු කරන්න සාකච්ඡාවක් හෙට


(සුජිත් හේවාජුලිගේ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය තක්සේරු කිරීමේ මූලික කටයුතු හෙට (6) අරඹන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මේ සඳහා සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග හෙට පුළුල්ව සාකච්ඡා පවත්වන බව කී අධිකරණ ඇමැතිවරයා නෞකාවෙන් සිදුවී ඇති හානිය අති විශාල හෙයින් ඒ සියලුම හානි පිළිබඳ සම්පූර්ණයෙන්ම සොයා බලා පූර්ණ වන්දි වාර්තාවක් පිළියෙල කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශය,වරාය අධිකාරිය,නාරා ආයතනය ,පරිසර අමාත්‍යාංශය ,පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීහු ද සහභාගි වෙති.

නෞකාව අයත් සමාගමෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීම රජයේ බලාපොරොත්තුව යැයිද අලි සබ්රි මහතා කියයි.