නැවේ පිපිරීමක් වුවහොත් වරාය සූදානමින්


(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන පිපිරීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් විශාල හානියක් සිදුවුවහොත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය හදිසි ආරක්‍ෂක පියවර ගැනීමේ සියලූම උපකරණ වරාය තුළ ස්ථානගත කළ බව සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නීය.

මෙම නෞකාවෙන් මේ දක්වා තුන්වැනි ශ්‍රේණියේ හානියක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවත් තෙල් කාන්දුවක් හෝ තෙල් විසිර යෑම වැනි හානියකට මුහුණ දීම සඳහා මේ වන විටත් හදිසි ආපදා කණ්ඩායම සූදානම් කර ඇති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය කියන්නීය.

හදිසි තත්වයක් ඇති වුවහොත් අවට රටවලින් ද සහයෝගය ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කර ඇති බවත් මේ දක්වා එවැනි අධි අවදානමක් නොමැති බවත් සභාපතිනිය සඳහන් කළාය

නෞකාව ශ්‍රී ලංකා මුහුදු කළාපයෙන් ඉවත්කරගන්නා ලෙස මේ වන විට ලිපි දෙකක් යොමුකර ඇති බව පැවසූ සභාපතිනිය කියා සිටියේ නෞකාවෙන් මුහුදු ප‍්‍රදේශයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට වියහැකි හානිය අවම කිරීම ප‍්‍රධාන අරමුණ බවය.