නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ තිබූ උණ්ඩ පොලිසියෙන් නිකුත් කළ ඒවා


(අමදෝරු අමරජිව)

තම කාර්යාලයේ තිබී සොයාගත් බව කියන උණ්ඩ තමන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින්ට හා අමාත්‍යාංශ  ආරක්ෂක නිලධාරින්ට කාත්තන්කුඩි පොලිසිය මගින් නිකුත් කළ  උණ්ඩ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මඩකලපුව, කාත්තන්කුඩි  කාර්යාලයේ තිබී උණ්ඩ 40 ක් සමඟ ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කරන දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙම නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කරන්නේ  තම කාර්යාලයේ පිටුපස  කාමරය ආරක්ෂක නිලධාරීන් භාවිතා කරන එකක් බවයි.

සෝදිසි මෙහෙයුම් දියත් කරන අවස්ථාවේ තම කාර්යාලයේ සිටි දෙදෙනෙකු  පොලිස් භාරයට ගෙන ඇති බවත් සොයාගත් උණ්ඩ වලට මේ දෙදෙනාගේ  සම්බන්ධයක් නොමැති බවත් මෙම උණ්ඩ තම ආරක්ෂක නිලධාරීන්ට කාත්තන්කුඩි පොලිසිය නිකුත් කළ  උණ්ඩ බවත් කියා සිටියි.