(සිරංගිකා ලොකුකරවිට)
ගංවතුරින් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය දී මුදල් ලබා දීමට ද කටයුතු කර තිබිය දී නැකැත් නැතැයි කියමින් නිවාස සෑදීම ප්‍රමාද වී ඇතැයි අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය.
දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් මතුකළ ගැටළුවක් සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවක දී එම කරුණු හෙළිදරව් විය. හේවගේ මන්ත්‍රීවරයා එහි දී පවසා සිටියේ පසුගිය මැයි මස ඇතිවූ ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 12ක මුදල තවමත් ලැබී නැති බවයි.
මෙහිදි අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා කියා සිටියේ නිවාස සෑදීම සඳහා රජයෙන් ඉඩම් වෙන්කර දී ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සැලැස්ම සඳහා අනුමැතිය ලබා දිය යුතු බවයි. මෙලෙස අනුමැතිය ලබා දී ඇති නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස 15ක කටයුතු පවා ආරම්භ කිරීම පමා වී ඇත්තේ එම පවුල්වල පුද්ගලයන් නිවාස ඉදිකිරීම සඳහා නැකත් බලමින් සිටින නිසා බව ඔහු තවදුරටත් පැවසීය. නැකැත් නැතැයි පවසමින් ඔවුන් ඉදිකිරීම් ආරම්භ කිරීමට මැළිකමක් දක්වන බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
එහි දී අදහස් දැක්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.
''මෙය මේ තරම් ප්‍රමාද විය නොහැකියි. මේ පවුල් පිට තැන්වල නවත්වලා ඔවුන්ට මාසිකව බදු කුලිය පවා රජයෙන් ලබා දෙනවා. රජයේ මුදල් අනුමත වී තිබිය දී ඇයි මේ විදියට නිවාස ඉදිකිරීම කඩිනම් කරන්නේ නැත්තේ. එක එක්කෙනාට වෙන වෙනම නැකැත් බලන්න ගියොත් මෙය තවත් ප්‍රමාද වෙයි. සියලුදෙනා කැඳවලා මේ තත්වය පහදා දෙන්න. එක නැකතක් හදලා ඔක්කොම ගෙවල් ඒ වෙලාවේ හදන්න පටන් ගන්න. නැතිව මේවා කරන්න බැහැ. රජයට ලොකු පාඩුවක් වෙනවා. තව ටික දවසකින් මාධ්‍ය වලිනුත් කියාවි අපි මේ සල්ලි දුන්නේ නැහැ, ගෙවල් හැදුවේ නැහැ කියලා."

