නාවික හමුදාවෙන් බේරෙන්න මහවැලි ගඟට බැස පිහිනු 2ක් අතුරුදන්


(අමදෝරු අමරජීව)
 
කින්නියා පොලිස් වසමට අයත් කන්දල්කාඩු වැලි මංකඬේ නීති විරෝධි ලෙස වැලි ගොඩ දැමු පිරිසක් අද (29)  පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදාවෙන් බේරීම සඳහා පලා ගොස් මහවැලි ගගට බැස පිහිනා ගිය සිව් දෙනාගෙන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව කින්නියා පොලිසිය කියයි.
 
මෙසේ අතුරුදන්ව ඇත්තේ කින්නියා ඉඩිමන් වාට්ටු අංක හත පදිංචි අබ්දුල් රාවුෆ් මොහොමඞ් පාරිස් (22) හා කින්නියා ඉඩිමන් වාට්ටු අංක පහ පදිංචි බසීර් මොහොමඞ් රමීෂ් (19)නැමැති තරුණයන් දෙදෙනෙකි.
 
කන්දල්කාඩු වැලි මංකඩෙහි නිති විරෝධිව වැලි ගොඩ දමමින් සිටියදී නාවික හමුදාව අද  (29) පෙරවරු 10 ට පමණ කළ වැටලීමත් සමඟ මෙම පිරිස පලා ගොස් මහවැලි ගගට පැන තිබේ එම අවස්ථාවේදී පලා යන සැකකරුවන් බිය වද්දා අල්ලා ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩිතබා ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලින් අණාවරණය වී තිබේ .
 
නාවික හමුදා ක‍්‍රියා කලාපයට එරෙහිව ප‍්‍රදේශවාසින් 500 ක් පමණ එම ප‍්‍රදේශයට පැමිණ කලහකාරි අයුරින් විරෝධය දැක්වීමත් සමග මුතූර් හා කින්නියා පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් කණ්ඩායම් ගෙනවිත් තත්වය පාලනය කිරිමට පොලිසිය කටයුතු කර තිබුණි.
 
නාවික හමුදාව විසින් අතුරුදන්වු දෙදෙනා සොයා මහවැලි ගගෙහි මෙහෙයුම් දියත් කිරිමට සුදානම් වු අවස්ථාවේ ඊට ප‍්‍රදේශවාසීන් විරෝධය පල කිරිමත් සමග නාවික හමුදාව ඉන් ඉවත්ව තිබේ මේ වන විට ප‍්‍රදේශවාසීන් ධීවර යාත‍්‍රා යොදා ගනිමින් අතුරුදන්වුවන් සොයනු ලබන අතර කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි.