නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී නීල් රොසයිරෝ


නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත්කරනු ලැබ සිටී.
ඔහු මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී කළේය. 
 
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර 1982 වර්ෂයේදී 11 වන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. 
ඔහුගේ සේවා කාලය තුළ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් වසර 3 ක් රාජකාරී කර ඇති අතර, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති යන පත්වීම් හොබවා ඇත. තවද එතුමා අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධ්‍යක්ෂ නාවික විදේශ කටයුතු, මැරීන් බලකා අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම්, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද රාජකාරී සිදු කර ඇත.